සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

සමුගත්තේ මිනිසෙක් නොව යුගයක්…

by editor
පෙබරවාරි 25, 2026 - Updated on පෙබරවාරි 27, 2026
in සංස්කෘතිය
ආචාර්ය රාජා ද සිල්වා - ඡායාරූපය අකිල ජයවර්ධන..
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

යුගයක අප්‍රමාණ පෞරුෂය සනිටුහන් කළ අසීමිත මනුෂ්‍යයෙක්  ඊයේ (24) අවසන් ගමන් ගියේය.   හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා යනු  හුදකලා මනුෂ්‍යයෙක් නොවන බවත් ඔහු යුගයක් ජීවමාන කළ අග්‍රේසර සංකේතයක් බවත් ලියා තබන්නේ ඒ යුගය නිමා වූ බවට දැනෙන සබෑ වේදනාව සහ කම්පනය සමගය. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මේ වනවිට සිදුවෙමින් ඇති දැවැන්ත බුද්ධිමය සහ ආකල්පමය පරිහාණියත් එම ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රය දේශපාලන කඳ පනුවන්ගේ කුණපයක් බවට පත් වෙමින් ඇති වේදනාත්මක යථාර්ථයත් දකිමින් මේ සටහන තබන්නේ කූරපයියට හෙණ ගැසූ පසු කිල්ලෝටය ඉතිරි නොවන බවට වන යථාවබෝධයත් සමගය.

ආචාර්ය රාජා ද සිල්වා –

පුරා වසර 102ක  ආයු කාලයකින්  පසු ආචාර්ය රාජා ද සිල්වා  පෙරෙදා අභාවප්‍රාප්ත වූයේය.  එම විශිෂ්ට විද්වතාගේ අවසන් කටයුතු ඊයේ සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරිනි.

විද්‍යාජෝති ආචාර්ය රාජ ද සිල්වා (1924–2026) යනු දශක ගණනාවක් පුරා දිවයිනේ පෞරාණික උරුමයන් සංරක්ෂණය කිරීම සහ අර්ථකථනය කිරීම වෙනුවෙන් කැප වූ විශිෂ්ට ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෙකු, රසායන විද්‍යාඥයෙකු සහ කලා  ඉතිහාසඥයෙකි.   විද්‍යාත්මක සේවයෙන් පැමිණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස  කටයුතු කළ     ප්‍රථම විද්‍යාඥයා ආචාර්ය රාජා ද සිල්වා ය.  මේ විශිෂ්ඨ මනුෂ්‍යයා  විද්‍යාත්මක ක්‍රමවේදයන් ඓතිහාසික ගවේෂණයන් සමඟ සම්බන්ධ කරමින්,  සම්ප්‍රදායික ආඛ්‍යානවලට වඩා අනුභූතික සාක්ෂි (empirical evidence) අවධාරණය  විද්වතෙකි.

ජීවන ගමනේ සංක්ෂිප්තය –

1924 අගෝස්තු 4 වන දින කොළඹදී උපත ලැබූ ආචාර්ය රාජා  ද සිල්වා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.  පාසලේ දී  ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුවෙක් විය.

රසායන විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරමින් ලංකා විශ්වවිද්‍යාලයෙන් (දැන් කොළඹ විශ්වවිද්‍යාලය) සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ගත් රාජා ද සිල්වා . පසුව, ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කලා ඉතිහාසය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගනිමින් සිය විද්‍යාත්මක පසුබිම මානව ශාස්ත්‍ර අධ්‍යයනයන් සඳහා යොමු කළේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ආචාර්ය ද සිල්වා 1964 දී සහකාර කොමසාරිස්වරයෙකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු අතර එම තනතුරට පත් වූ පළමු රසායන විද්‍යාඥයා ඔහු විය. පෞරාණික බිතුසිතුවම් සහ කලාකෘති පුනරුත්ථාපනය  කිරීමේ අභියෝගවලට විසඳුම් ලබා දෙමින් සංරක්ෂණය කේන්ද්‍ර කරගත් රසායනික සංරක්ෂණ අංශයක්   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ  පිහිටුවූයේ ආචාර්ය රාජා ද සිල්වා ය.

1967 සිට 1979 දක්වා ඔහු පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් වූ අතර, එම කාලය තුළ ඔහු ප්‍රධාන ව්‍යාපෘති අධීක්ෂණය කළ අතර සීගිරිය සහ පොළොන්නරුව වැනි ස්ථාන සඳහා නිල මාර්ගෝපදේශ පොත් රචනා කළේය.  ඔහුගේ ශාස්ත්‍රීය දායකත්වය අගයමින් ඔහුට “විද්‍යාජෝති” ගෞරව නාමය පිරිනමන ලදී.

සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය

ලුසියානෝ මරන්සේ සමග සීගිරි සිතුවම් සංරක්ෂණය කරමින්… පසෙක ඇත්තේ විනාශ කළ සීගිරි සිතුවමක්…

ආචාර්ය ද සිල්වාගේ වඩාත් ඇගයීමට ලක් වූ සේවය වන්නේ 1967 වසරේදී සීගිරි බිතුසිතුවම්වලට එල්ල වූ විනාශකාරී ප්‍රහාරයෙන් පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු ඉටුකළ තීරණාත්මක කාර්යභාරයයි. එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාල්ස්  ගොඩකුඹුර   විසින්, විනාශකාරීන් විසින් කොළ සහ රතු තෙල් සායම් ගා විකෘති කර තිබූ බිතුසිතුවම්වලට සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ආචාර්ය රාජා ද සිල්වා එම ස්ථානයට යවන ලදී. මෙහිදී විශේෂඥ දැනුමක අවශ්‍යතාවය හඳුනාගත් ආචාර්ය ද සිල්වා, යුනෙස්කෝ (UNESCO) සහ ස්මිත්සෝනියන් ආයතනයේ අනුග්‍රහය ඇතිව ඉතාලි ජාතික සංරක්ෂණ ශිල්පී ලුසියානෝ  මරන්සේ   ලංකාවට ගෙන්වා ගත්තේය.

සායම් ඉවත් කිරීමට සහ බදාමය ස්ථාවර කිරීමට ආචාර්ය ද සිල්වා වහාම රසායනික මැදිහත්වීම් ආරම්භ කළ අතර එමඟින් වැඩිදුර හානි වීම වැළැක්විය. මරන්සේ  ඔහුගේ කෙටි රැඳී සිටීම තුළ උසස් සංරක්ෂණ ක්‍රමවේදයන් හැසිරවූ අතර, ආචාර්ය රාජා  ද සිල්වා සහ ඔහුගේ කණ්ඩායම 1968 අප්‍රේල් වන විට බිතුසිතුවම් දෙකක් හැර අනෙක් සියල්ල බේරා ගනිමින් එම කටයුත්ත නිම කළේය.

අද ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රය සිය ප්‍රධාන විනිමය උපාය මාර්ගය ලෙස සලකුණු කර ඇත්තේය. සංචාරක කර්මාන්තයේ අති මහත්  ආර්ථිකයක් ගොඩනැගී ඇත්තේ ඓතිහාසික සීගිරිය සහ එහි රූපණයවන බිතු සිතුවම් මතය.  ආචාර්ය රාජා ද සිල්වා සහ ලුසියානෝ මරන්සේ එක්ව  එදා බේරාගෙන තිබුණේ 5 වන සියවසට අයත් තක්සේරු කළ නොහැකි වටිනාකමක් සහිත කලාකෘතියක් පමණක්  නොව ජාතියක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බව අද අපට වැටහෙන්නේය.   පුරාවිද්‍යාත්මක සංරක්ෂණය සඳහා රසායන විද්‍යාව යොදාගත හැකි ආකාරය  සම්බන්ධව අපේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදුවූ  නිශ්චිත විද්‍යාත්මක පැහැදිලිකිරීම මෙයය.. හිඳගල වැනි ස්ථානවල බිතුසිතුවම් සම්බන්ධයෙන් ඔහු මීට පෙර කළ කටයුතු ද මෙම කුසලතා ඔප්නැංවීමට ඉවහල් විය.

සීගිරිය පිළිබඳ ආචාර්ය රාජා  ද සිල්වාගේ පර්යේෂණ සාම්ප්‍රදායික අර්ථකථනයන්ට අභියෝග කළේය. ඔහුගේ “Sigiriya and Its Significance: A Mahayana-Theravada Buddhist Monastery” (2002) කෘතිය හරහා ඔහු තර්ක කළේ සීගිරිය යනු මහාවංශයේ විස්තර කෙරෙන කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද මාලිගාවක් හෝ බලකොටුවක් නොව, කාශ්‍යප රජුටත් පෙර සිට පැවති මහායාන-ථේරවාද බෞද්ධ ආරාම සංකීර්ණයක් බවය. එහි ඇති බිතුසිතුවම්වලින් නිරූපණය වන්නේ කාමභෝගී ස්ත්‍රීන් නොව, සශ්‍රීකත්වය සහ වැසි වැසීමට කරන වත්පිළිවෙත් සංකේතවත් කරන මහායාන බෞද්ධ සංකේතයක් වන “තාරා” දේවිය බව ඔහු පෙන්වා දුන්නේය. ආරාමික ව්‍යුහයන් සහ ප්‍රතිමා ශිල්පය වැනි පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වූ මෙම මතය, මුල්කාලීන බෞද්ධ පසුබිම තුළ සීගිරියේ භූමිකාව ඉස්මතු කළේය.

මහාවංශයේ ඓතිහාසිකත්වය තහවුරු කිරීමට දැක්වූ දායකත්වය

ආචාර්ය ද සිල්වාගේ කාර්යභාරය මහාවංශය වැනි ඓතිහාසික වංශකතාවල කරුණු විමර්ශනය කිරීම සහ විවේචනාත්මකව බැලීම දක්වා ද ව්‍යාප්ත විය. මහාවංශයේ සඳහන් බොහෝ සිදුවීම් සෙල්ලිපි සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් මගින් තහවුරු වී තිබුණද, ආචාර්ය ද සිල්වා අනුභූතික සාක්ෂි (empirical evidence) භාවිතා කරමින් එහි එන ඇතැම් ආඛ්‍යාන ප්‍රශ්න කළේය. විශේෂයෙන්ම ථේරවාදී නොවන බලපෑම් යටපත් කර ඇති අවස්ථා ඔහු පෙන්වා දුන්නේය.

ඔහුගේ සීගිරි පර්යේෂණය මෙයට කදිම උදාහරණයකි. කාශ්‍යප රජුට පෙර පැවති ආරාමික නටබුන් ඇතුළු පුරාවිද්‍යාත්මක සොයාගැනීම්, සීගිරිය යනු කාශ්‍යප රජුගේ පශ්චාත්තාපී රැකවරණස්ථානයක් ලෙස මහාවංශය කළ ඉදිරිපත් කිරීමට පටහැනි විය. ඒ වෙනුවට ආචාර්ය ද සිල්වා ඉදිරිපත් කළ සාක්ෂි මගින් මහායාන-ථේරවාද සම්මිශ්‍රණයක් පෙන්නුම් කළ අතර, වංශකතාකරුගේ ථේරවාදී පක්ෂග්‍රාහීත්වය හේතුවෙන් කාශ්‍යප සහ මහසෙන් වැනි රජවරුන්ව දැඩි ලෙස විවේචනය කර ඇති බව ඉඟි කළේය. මෙම ස්වාධීන බුද්ධිමය ප්‍රවේශය මහාවංශයේ සමස්ත ඓතිහාසිකත්වය තහවුරු කරන අතරම එහි අර්ථකථන සීමාවන් ද පෙන්වා දුන්නේය.

සීගිරි සිතුවම් සංරක්ෂණයේ අවස්ථාවක්…

ජාතියක අනන්‍යතාවය තහවුරු කළ විශිෂ්ඨයා..

අධිකරණ කටයුත්තක දී  ඓතිහාසික ලේඛන සහ එම ලේඛනයන් සම්බන්ධව විනිවිදින දැනුම දේශපාලනික සහ ආගමික උත්කර්ෂයන් මත ගොඩනැගෙන අගතිගාමිත්වයට එරෙහිව ශික්ෂණයකින් යුතුව ඉදිරිපත් කළ හැකි ආකාරය සම්බන්ධව රාජා ද සිල්වා ඓතිහාසික උදාහරණයක් බව කිව යුතුව ඇත. කෝණේෂ්වරම් කෝවිල මුල් කරගෙන  ත්‍රී කුණාමලය හින්දු පූජා නරගරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව රට තුළ ජාතිවාදී කෝලාහලයක් පැතිර ගියේය. මෙම සිදුවීම වන්නේ 1977 -79 වකවානුවේදී ය.

එවකට ත්‍රී කුණාමලය නගර සභාවේ බලය හිමි වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙතය. පක්ෂයේ නායක අප්පපිල්ලෙයි අමිර්තලිංගම්ගේ මෙහෙයවීම යටතේ නැගෙනහිර හින්දුන්ගේ සංස්කෘතික සහ ආගමික  අගනුවර ත්‍රී කුණාමලය ලෙස ප්‍රකාශ කළේය.  අමිර්තලිංගම්  ඇතුළු දේශපාලන නායකයින්  අවධාරණය කළේ ත්‍රිකුණාමලය යනු ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම පැවති, ශිව දෙවියන් උදෙසා කැප වූ “දක්ෂිණ කයිලාසය” ලෙස සැලකෙන තිරුකෝණේෂ්වරම් කෝවිල කේන්ද්‍ර කරගත් හින්දු පූජනීය භූමියක් බවය.

ත්‍රිකුණාමලයේ කොටුව (Fort Fredrick) තුළ පිහිටි පෞරාණික හින්දු දේවාලය පෘතුගීසීන් විසින් විනාශ කළ බවත්, එම ස්ථානයේ බෞද්ධ ස්මාරක ඉදි කිරීම මගින් හින්දු උරුමය යටපත් කිරීමට උත්සාහ කරන බවත් අමිර්තලිංගම් ඍජුව චෝදනා කළේය.

දෙමළ භාෂාවෙන් යුත් පැරණි සෙල්ලිපි මගින් එම ප්‍රදේශයේ හින්දු සහ දෙමළ බෞද්ධ සබඳතා පැහැදිලි වන බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම කරුණු හෙළි නොකරන බවත් පසුකාලීනව ආර්. සම්බන්ධන් වැනි නායකයින් ද අමිර්තලිංගම්  ගේ මතය ඉදිරියට ගෙන යමින් ප්‍රකාශ කළහ.

අමිර්තලිංගම්ලාගේ  ප්‍රධාන අරමුණ වූයේ ඓතිහාසික තිරුකෝණේෂ්වරම් කෝවිල අවට ප්‍රදේශයේ දෙමළ හින්දු අනන්‍යතාවය තහවුරු කිරීම සහ එම ප්‍රදේශය තුළ සිදුවන වෙනත් ආගමික ඉදිකිරීම් පාලනය කිරීමය. නගර සභාව විසින් මෙම යෝජනාව සම්මත කළද, එය මධ්‍යම රජය විසින් නිල වශයෙන් පිළිගනු ලැබුවේ නැත. එහෙත් එක්වර යම් කිසි සංවිධානාත්මක පිරිසක් විසින් ත්‍රි කුණාමලයේ ඓතිහාසික බෝධීන්වහන්සේලා කපා ඉවත් කිරීමේ සාහසික ව්‍යාපෘතියක් ක්‍රියාත්වට නැන්වූහ. එහිදී බෞද්ධයින් අතිශය කම්පාවට ලක් වූ ව්‍යසනය වූයේ  ශ්‍රී මහා බෝධීන්වහන්සේට පමණක් දෙවැනි වූ කිලිවෙඩ්ඩියේ සිරිවඩ්ඪන බෝධීන්වහන්සේ විනාශ කිරීමය.  සිරිවඩ්ඪන බෝධිය යනු ක්‍රි.පූ. 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජු විසින්  රෝපණය කරන ලද බෞද්ධ ඉතිහාසයේ එන අති පූජනීය බෝධීන් වහන්සේ නමකි.  වර්තමානයේ මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බිමක් ලෙස පවතී.  මෙම සිදුවීම් එවකට පාර්ලිමේන්තුවේදී ද දැඩි කතාබහට ලක් වූයේය.  මේ කරුණු මුල් කරගෙන රට තුළ දැවැන්ත ජාතිවාදී කෝලාහලයකට මග පෑදිනි.

සන්සෝනි කොමිසම

මෙම තත්ත්වය තුළ  1977 අගෝස්තු මස රට තුළ ඇති වූ වාර්ගික කැරලි සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන   විසින් 1977 නොවැම්බර් 9 දින විශ්‍රාමික අග විනිසුරු එම්.සී සන්සෝනි ගේ සභාපතිත්වයෙන්   ඒක පුද්ගල කොමිසමක් පත් කළේය. සන්සෝනි කොමිසම මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව එවකට පැවති දේශපාලන සහ වාර්ගික ගැටලු අවබෝධ කර ගැනීමට උපකාරී වූ ඓතිහාසික ලේඛනයක් ලෙස සැලකේ.

කෝනේෂ්වරම් කෝවිල…

එම කොමිසම හමුවේ හින්දු ජාතිවාදීන්ගේ අගතිගාමී මතවාද අතිශය විද්‍යාත්මක ලෙස ඛණ්ඩනය කළ විද්වතා වූයේ  එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි ආචාර්ය රාජා ද සිල්වා ය. මහාවංශය සහ ශිලා ලේඛණ සාක්ෂි ඇසුරින් ඔහු අතිශය තාර්කිකව සන්සෝනි කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පෙන්වා දුන්නේ ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසේ දී  මහසෙන් රජතුමා විනාශ කළ හින්දු දේවස්ථානයක් ත්‍රී කුණාමලයේ නොතිබුණ බවය.

සන්සෝනි කොමිසම හමුවේ සාක්ෂි දෙමින්  මහා වංශයේ  37 වන පරිච්ඡේදයේ මහසෙන් රජු විනාශ කළේ යැයි සඳහන් වන ස්ථාන හැඳින්වීමට යොදා ඇති “තීර්තක” යන වචනය හින්දු ආගමිකයන්ටම පමණක් අදාළ වන්නක් නොවන බව ඔහු පැහැදිලි කළේය. “තීර්තක” යනු බුදුදහමට පරිබාහිරව සිටි ඕනෑම අන්‍යාගමික කණ්ඩායමක්   හැඳින්වීමට යොදාගත් පොදු නමක් බව ඔහු පෙන්වා දුන්නේය.

එම ස්ථානයේ ඈත අතීතයේ සිටම හින්දු කෝවිලක් පැවති බව තහවුරු කිරීමට කිසිදු පුරාවිද්‍යාත්මක හෝ අභිලේඛනමය සාක්ෂියක්   නොමැති බව ආචාර්ය රාජා ද සිල්වා අවධාරණය කළේය.  මහසෙන් රජු විසින් එම ස්ථානයේ විහාරයක් කරවූ බවට මහාවංශ සාක්ෂි පවතින නමුත්, ඊට පෙර එහි පැවති “තීර්තක” ස්ථානය කෝණේෂ්වරම් වැනි හින්දු කෝවිලක් බවට පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කළේය.

ත්‍රිකුණාමලය යනු අතීතයේ සිටම පැවති හින්දු පුදබිමක් බවට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ගෙන ගිය මතවාදය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ නොහැකි බවත්, එම ස්ථානයෙන් හමු වී ඇති සියලුම පැරණි නටබුන් බෞද්ධ අනුශාසනාවන්ට අයත් ආරාමික නටබුන් බවත් ඔහු සාධනය කළේය.

පෘතුගීසි ලේඛකයෙකු වූ ප්‍රැන්සිස්කෝ ද ක්වේරෝස්   ගේ වාර්තා උපුටා දක්වමින්, 16 වැනි සියවසේ පෘතුගීසීන් විසින් විනාශ කරන තෙක්ම මෙම ස්ථානයේ බෞද්ධ විහාරයක් සහ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව ඔහු කොමිසම ඉදිරියේ සාධනය කළේය. එහි දී හෙළි වූ වැදගත්ම කාරණාව වන්නේ  වර්තමානයේ දක්නට ලැබෙන කෝණේෂ්වරම් කෝවිල පෘතුගීසි විනාශයෙන් පසුව, විශේෂයෙන් 1950 සහ 1963 වකවානුවලදී නැවත ඉදි කරන ලද්දක් බවය. එම ඉදිකිරීම සිදුවන්නේ   පැරණි ගෝකන්න විහාරයේ ඓතිහාසික නටබුන් මත බව ආචාර්ය රාජා ද සිල්වා පැහැදිලි කළේ  1960 දශකයේදී කෝවිල ඉදිරිපිට තිබූ පෞරාණික බෝධීන් වහන්සේ ද විනාශ කර ඇති ආකාරය සම්බන්ධව සාධක සහිතව ඔප්පු කරමිනි.

ආචාර්ය රාජා ද සිල්වාගේ මෙම සාක්ෂිය මගින් හින්දු ජාතිවාදීන්ගේ මනංකල්පිත මනෝ රාජ්‍යය පිළිබඳ ගොඩනැගීම සුනු විසුනු වී ගියා පමණක් නොව යළි කිසිම අවස්ථාවක එවැනි තර්කයක් මතුවීමට ඇති ඉඩ කඩත් විද්‍යාත්මකව අහුරා දැම්මේය.  ත්‍රිකුණාමලය හුදෙක් එක් ආගමකට පමණක් සීමා වූවක් නොව, එය බෞද්ධ සහ හින්දු යන ආගම් දෙකටම අයත් ඓතිහාසික සබඳතාවක් ඇති ස්ථානයක්  බවට වූ සංස්කෘතික සහ ශිෂ්ඨ සම්පන්න අදහස රෝපණය කිරීමට මුල් වූ විශිෂ්ට ප්‍රාඥයා ආර්ය රාජා ද සිල්වා ය.

ආචාර්ය ද සිල්වාගේ උරුමය පවතින්නේ රසායන විද්‍යාව, කලා ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයයන් ඒකාබද්ධ කරමින්   ජාතියක් සුරක්ෂා කිරීමට  අනුගමනය කළ ඔහුටම අනන්‍ය වූ  බහුවිධ ප්‍රවේශය තුළය.

සාක්ෂි මත පදනම් වූ පර්යේෂණවලට ප්‍රමුඛත්වය දීමට අනාගත පරපුරට ප්‍රායෝගික ආදර්ශය සැපයූ විද්වතා ආචාර්ය රාජා ද සිල්වා ය. “පැරණි ශිෂ්ටාචාරයේ ආරක්ෂකයා” ලෙස ඔහුගේ භූමිකාව ලංකා ඉතිහාසය තුළ  අවධාරණය කළ යුතු බව විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැඟවී සිටි දෙවැනි වෙඩික්කරුත් අත් අඩංගුවට…

Next Post

පාස්කු ප්‍රහාර නඩුවට අත් අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි කවුද?… ඔහුට ඇති චෝදනා මොනවා ද?

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.