සූරියවැව – නුවන් ජයසේකර
වසර 40කට වැඩ කාලයක් තිස්සේ වඩු කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් 60 හැවිරිදි බටගොඩගේ විමලසිරි හැමෝම දන්නේ වඩු හිච්චි මාමා කියාය. සූරියවැව වැවේගම පදිංචි වඩු හිච්චි මාමා 60 වැනි වියේ හිටියත් තරුණ පහේ කොළු ගැටයන් හා හරි හරියට ලී කොටන් එක්ක ඔට්ටු වන්නේ අපූරු ජවයකිනි.

වඩු හිච්චි මාමා ගැන අද අප ඔබට කියන්නට හිතුනේ ඔහු සිදුකල අපූරු නිර්මාණයක් නිසාය. ත්‍රී රෝද රථයේ වහලය හා දෙපස ආවරණය කරන කැන්වස් රෙද්ද වෙනුවට ලී ආවරණයක් සකස් කිරිමට වඩු හිච්චි මාමා සමත් වි තිබේ.
ලංකාවටම ඇති තේක්ක ලීයෙන් අවාරණය කළ එකම ත්‍රී රෝද රථය ඇත්තේ වඩු හිච්චි මාමා සතුවය. එහි නිර්මාතෘ වන්නේමද ඔහුමය. ඔහු තුළ ඇති මෙම කුසලතාවය නිසාවෙන්ම අප ඔහු සොයාගෙන සූරියැවව වැවේගම පිහිටි ඔහුගේ නිවසට ගියෙමු. එහිදී චඩු හිච්චි මාමා අපත් සමග පැවසුවේ මෙවන් කතාවකි.

“මගේ නම බටගොඩගේ විමලසිරි. හැබැයි විමලසිරි කියලා හොයාගෙන ආවට කවුරුවත් මාව අදුරන්නේ නෑ. නමුත් වඩු හිච්චි මාමා කියලා ඇහුවොත් නොදන්න කෙනෙක් නෑ .මගේ තාත්තා හොද වඩු කාර්මිකයෙක් තාත්තගේ මෙම කර්මාන්තය අපි පවුලේ සියළුම දෙනා ඉගෙන ගත්තා. මං මට අවුරුදු 20 ඉඳන් තමයි මෙම වඩු වැඩ කරගෙන යන්නේ. “
“මට මේ නිර්මාණය කරන්න හිතුනේ මෙහෙමයි… මගේ ත්‍රි විල් එක මිට මාස හයකට පමණ කලින් ඇලකට පෙරළිලා අනතුරට ලක් වුණා. ඒ වෙලාවේ ත්‍රි වීල් එකේ කූඩුව (හුඩ් එක) සම්පූර්ණයෙන්ම හානි වුණා.ඒ වෙලාවේ මන් ඒක හදා ගන්න කිප තැනකටම ගිහින් ගනන් හිලව් ඇහුවා. හැමෝම මහා ලොකු ගනන් කිව්වා. එහෙම තියෙද්දී මන් කල්පනා කළා මේකට ලීයෙන් හුඩ් එකක් ගහන්න පුළුවන් නේද කියලා. මොකද මගේ ලග ලී හා ඒවා ඕනි විදියට සකස් කරන්න පුළුවන් උපකරණත් තියෙන නිසා. එහෙම හිතලා මං පෑනකුයි කොලේකුයි අරගෙන ඊට අවශ්‍ය සැළසුමක් ඇන්දා. ඒ ඇඳලා මගේ අයියගේ පුතා නිලංගට කිව්වා මේකට අවශ්‍ය ලී සකස් කල යුතු විදිය. එහෙම තමයි මේක හදන්න පටන් ගත්තේ. ඇත්තටම මේක හදන්න මට සති තුනක් විතර ගියා.”
“මේ නිර්මාණය සදහා අරගෙන තියෙන සෑම ලීයක්ම අගල් භාගයට වඩා ඝනකම අඩුයි .මේ සදහා යොදාගෙන තියෙන්නේ තේක්ක ලීය. හැම තේක්ක ගහකින්ම ගන්න ලී මේ සදහා හරියන්නේ නෑ .ඒ සදහා වගා තේක්ක ලී තමයි ඉතා යෝග්‍ය වෙන්නේ. අනික ලී බර අඩුකරන්න අවශ්‍ය තාක්ෂණයත් මං මේ සදහා භාවිතා කරලා තියෙනවා. මේ සම්පූර්ණම කූඩුවේ බර කිලෝ 30කට අඩුයි. අනික මේකේ කිසිම කෑල්ලක් වාහනයෙන් පිටතට පැනලා නෑ. සවි ශක්තිය අතිනුත් ඉතා හොඳයි.ඒ වගේම ඉතා අනර්ඝ මට්ටමේ දැව ආරක්ෂණ ක්‍රමයක් මේ සදහා භාවිතා කරලා තියෙනවා. මට මේ සදහා රුපියල් ලක්ෂ දෙක හමාරක් විතර වැය වුණා.”
“මුලින්ම මං මේ ත්‍රී රෝද රථය හදලා පාරේ යනකොට පොලිසියෙන් පවා නැවැත්තුවා. මේකේ ඇති නීතිමය තත්වය කොහොමද කියන්න නම් මං දන්නේ නෑ. නමුත් මේක හොද නිර්මාණයක් .අපේ රටට ගැළපෙන අලුත් දෙයක් .බොහෝ දෙනෙක් මේ වෙනකොට මේ සදහා කැමැත්ත පළ කරලා තියෙනවා. අද වෙනකොට මේ අලුත් නිර්මාණය සදහා ලොකු ඉල්ලුමක් තියෙනවා. හිච්චි මාමා කීවේය.
මෙම අපූරු නිර්මාණය සදහා නීති රීති කොතරම් හරස් වේවිද යන්න පිළිබදවද කිව නොහැකිය.කෙසේ නමුත් වගකිවයුතු බළධාරීන් කළ යුත්තේ මේ අපූරු නිර්මාණය සදහා සහයෝගය දැක්විමය. මෙවැනි නිර්මාණ සිදුකරන පුද්ගලයන් සදහා අතහිත දි ඒ සදහා සහාය නොමදව වගකිවයුත්තන්ගෙන් ලැබේවි යැයි අපි විශ්වාස කරමු.