දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින් ජන ජිවිතය වඩා යහපත් කිරීම අරමුණ කරගත් නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ අද (28 වැනිදා) ස්ථාපිත කෙරිණි.
අදට (28) යෙදී ඇති තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
එහිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර” නමැති නව වෙබ් පිටුව (pmd.gov.lk/counter-disinformation-unit) ද ජනගත කිරීම සිදු කළේය.
මාධ්‍යයේ පළවන ජනතා ගැටලුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෛනික අවධානය යොමු වන අතර, එම පුවත් සත්‍යාපනය කර රජයේ අදාළ බලධාරියා වෙත සෘජුවම යොමු කොට ජනතා ගැටලු කඩිනමින් විසඳීම අද ස්ථාපිත කළ නව ඒකකයේ එක් අරමුණකි.
එසේම සැබෑ ජනතා ගැටලු යටපත් වී චේතනාන්විත දුස් තොරතුරු (Disinformation) වලට වැඩි ඉඩක් ලැබි ඇති බව පසුගිය දින කිහිපය තුළ නිරික්ෂණය විය.
ඒ අනුව එම චේතනාන්විත දුස් තොරතුරු හදුනාගෙන සත්‍යය ජනගත කිරීමත් නව ඒකකය මගින් සිදු කෙරේ.
මෙම වැඩසටහනේදී අදහස් දැක්වු ආචාර්ය රංග කලන්සුරිය සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනතින් හඳුන්වා දුන් පරිදි රාජ්‍ය තොරතුරු ජනතාව ඉල්ලා සිටීමටත් පෙර ප්‍රසිද්ධ කිරීම මගින් චේතනාන්විත දුස් තොරතුරුවලින් සමාජයට වන හානිය අවම කළ හැකි බවය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) වයි.එම්.සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය), කේ. ඩී.සෙනෙවිරත්න, ජනාධිපති උපදේශක එල්. ඒ. ආර්. සොලමන්ස්, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ (කර්තෘ මණ්ඩල) ඩී. එම්. පියසේන, ජනාධිපති මාධ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ (තොරතුරු සත්‍යාපන ) සදුන් අරෝෂ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







