කීර්ති ප්‍රනාන්දු –
රුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කිලෝ ග්රැම් 06 යි ග්රැම් 995 ක් බරැති රන් බිස්කට් 60 ක් ඉනේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු ඊයේ (30) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ජා – ඇල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි .
මෙම රන් බිස්කට් දහය බැගින් වූ පාර්සල් 06 කට සකස් කර ගත් මොහු ඒවා , තම ඉන ප්‍රදේශයේ සඟවා ගනිමින් ඊයේ රාත්‍රී 07.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා සූදානම් වී මේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී තිබේ.
උක්ත රන් බිස්කට් තොගය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන්නට ඇතැයි රේගු නිලධාරීන් සැක කරයි. මෙම සේවකයා ලවා රන් බිස්කට් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීමට සූදානම් කර තිබූ බවට රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත .
ග්රැම් 116.62 බැගින් බරකින් යුතු මෙම රන් බිස්කට් සියල්ල කැරට් 24 තනි පවුම් රත්තරන් බව තක්සේරුකරුවන් රේගුවට සනාථ කර තිබේ .

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයා සහ ඔහු රැගෙන ගිය රන් බිස්කට් තොගය ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ . වැඩිදුර විමර්ශන පැවැත්වේ.







