තරුණයින් සාමකාමීව මහමගට බසින්නේ ශිෂ්ට සම්පන්නව අදහස් සමග ගැටෙන්නට බවත් එසේ පාරට බැස ඇත්තේ ත්රස්තවාදීන් නොව හෘදය සාක්ෂියක් සහිත පුරවැසියන් බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසුවේය.
අනීතිකව ම්ලේච්ඡව සිදුකරන මේ මර්ධනයට ජනතාව හැමදාම හිස නමාගෙන සිටිනු ඇතැයි අපේක්ෂා කරනවා නම් ඉදිරියේ දී ඇති වීමට නියමිත බිහිසුණු ව්‍යසනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිවයුතු බවත් ඔහු කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන අද බත්තරමුල්ලේ දී පැවති ජාතික බලවේගයේ මාධ්‍ය හමුව අමතමිනි.
නීතිඥ හර්ෂණ නානායක්කාර මෙසේ ද පැවසුවේය.
“1979 හඳුන්වාදුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මෙතෙක් පැවැති ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ නියැලුණා. රනිල් වික්‍රමසිංහ සාමකාමී අරගලකරුවන් සහ ත්රස්තවාදීන් හැටියට අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමේ අරමුණින්ම මේ බෙදීම කළා. ඔහු ත්රස්තවාදීන් හැටියට හඳුන්වන්නේ ජනාධිපති මන්දිරයේ ෆ්‍රිජ්එකේ තිබුණු ගස්ලබු බෑය කෑව කෙනා. පිහිනුම් තටාකයේ සබන් ගාලා නෑව කෙනා. ජනාධිපති කොඩිය ඇඟේ ඔතාගෙන සිටිය කෙනා. රනිල් වික්‍රමසිංහගේ ත්‍රස්තවාදී නිර්ණායක පෙළ ගස්වා තිබෙන්නේ මේ විදිහට. “
“අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් දින 90ක රැඳවුම් නියෝග මත හිරකර තබාගෙන ඉන්නවා. ඕනෑම කෙනෙකුට වරදක් කළා කියලා චෝදනා එල්ලකර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉන්නත් පුළුවන්. නීතිඥවරුන්ට ඒ අය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉතාමත්ම සීමිත ඉඩකඩක් ලැබෙන්නේ. මහේස්ත්‍රාත්වරුන්ට ඔවුන්ව අධීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. “
“නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ සාමකාමී පාගමනක නියැලෙමින් එකදු නීතියක්වත් නොකැඩූ ශිෂ්‍යයන්ට පොලිසිය යොදවා පන්න පන්නා පහර දුන්නා.“
“රටේ ආර්ථික අර්බුදය එක්ක රජයේ පාඩු ලබනවා යැයි කියන ආයතන විකුණා දමන්න ආණ්ඩුව ක්‍රියාකරනවා. ඒ වාට විරුද්ධව සිදුකෙරන ජනතා නැගිටීම් මර්දනය කිරීමේ පෙරහුරුවක් මේ තියෙන්නේ. මේ උත්සාහ කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමේ බිය ගැන්වීමකට. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන මේ කරන ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි. ‘
“තරුණයෝ පාරට එන්නේ ප්‍රශ්නයක් තියෙන නිසා. ඔවුන් ගැටෙන්නේ ශිෂ්ට සම්පන්නව අදහස් සමග ගැටෙන්න. ජීවන වියදම සහ වෙනත් ආර්ථික ගැටලු විසඳා ගන්න මේ රටේ පාරට එන්නේ ත්රස්තවාදීන් නොවෙයි, හෘදය සාක්ෂියක් තියෙන පුරවැසියන්. ඔවුන්ව අනීතික ලෙස, ම්ලේච්ඡ ලෙස මර්දනය කරනවා නම්, ඔලුව පහත් කරගෙන ඉඳී කියලා හිතන්න එපා. “
“මේ රටේ ජනතාවගේ කොන්ද කැඩීමයි මේ කරන්නේ. ගෝල්ෆේස් එකට හෝ වෙන කිසිම තැනක පටු දේවල් ඉල්ලා ගෙන කිසිකෙනක් අරගල කළේ නැහැ. ඒ නිසා මේ මර්දනය දිගටම ගෙන ගියහොත් කිනම් මොහොතක හරි පුපුරා යන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ පාලනයට අපි අවධාරණය කරනවා. එවැනි විනාශයන්ගේ පාඩම් ඉතිහාසයේ ඇති තරම් කියාදී තිබෙනවා. “
“මම මෙතනට ආවේ කොටුව උසාවියේ ඉඳලා. අරගලකරුවන් හැමෝටම මහේස්ත්රාත්තුමා ඇප ලබාදුන්නා. පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කළ, කරුණු එකක් වත් අපරාධ චෝදනා නොවෙයි. බය කරන්න ඉදිරිපත් කළ චෝදනා. රටක් වෙනුවෙන් කැපකිරීම් කළ පුද්ගලයන් ලෙස ඔබ හෘදය සාක්ෂියට අනුව කෙලින් කටයුතු කරන්න. පොලිස් නිලධාරීන්ට පාලකයන් ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපදින අයට දඬුවම් විඳීමට සිදුවන බව මතකයේ තියා ගන්නා ලෙස අවධාරණය කරනවා. ජාතික ජන බලවේගයේ අපි අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව දිගටම පෙනී සිටිනවා. “







