මාතර -සම්පත්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරියකු හෙරොයින් මත්ද්‍රව්‍ය විකිනීමේ චෝදනාව මත දෙවිනුවර නගරයේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. කපිල බණ්ඩාරගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදු කර තිබේ.
ගන්දර පොලිසියට ලැබුණු තොරතුරු මත පෙරේදා 22 දින දෙවිනුවර මහජන බැංකුව අසල රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකාර ක්ෂේත්‍ර නිලධාරියාගේ යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඔහුගේ සන්තකයේ හෙරොයින් කුඩා පැකට් 08ක් තිබී ඇත.
එලෙස අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් ප්‍රමාණය බර මිලි ග්‍රෑම් 2100කි. ඔහු කලක සිට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කරන බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව මෙම සැකකාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරී වරයෙකු වූ දික්වැල්ල කෝන්දෙනිය වත්ත පදිංචි සම්පත් වික්‍රමසිංහ 43 විවාහක අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය කියයි.
මෙම සැකකරු විසින් ජංගම දුරකථන භාවිත කර සම්බන්ධ කරගන්නා හෙරොයින් පානයට ඇබ්බැහි වූවන්ට අවශ්‍ය පරිදි හෙරොයින් කුඩා පැකට් සකස් කර ඔහු දුරකථන කණු අසළ වල දමා ජංගම දුරකථන මඟින් එය දැනුවත් කර ඊසි කෑෂ් ක්‍රමයට මුදල් අයකර ගන්නා බවට අනාවරණය කරගෙන තිබේ.
ගන්දර පොලීසිය විසින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර ඉල්ලීමට නියමිතයි.
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ උපදෙස් මත මාතර පොලිස් අධිකාරී 1 විජේගුණවර්ධන ගේ මෙහෙයවීමෙන් ගන්දර පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කපිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.