කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික හානි සිදුවූ ව්‍යාපාර ගලවා ගැනීම සඳහා ඇමරිකාවේ ස්ථාපිත කර ඇති කොරෝනා වෛරස සහන අරමුදලෙන් ඩොලර් මිලියන 20ක් වංචනික ලෙස ලබා ගැනීමට උත්සාහ කළ චීන ජාතිකයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.
නිව්යෝර්ක්හි දිස්ත්‍රික් අධිකරණයක පැවති නඩු විභාගයකදී මෙසේ වසර 4 කුත් මාස 4 ක සිර දඬුවමක් නියමව ඇත්තේ මුගේ මා (Muge Ma) නම් චීන ජාතික ව්‍යාපාරිකයෙකුට එරෙහිවයි.
ජාතික හදිසි අවස්ථාවකදී යළි නැගී සිටීම සදහා ස්ථාපිත කළ රජයේ වැඩසටහනක් අනිසි ලෙස භාවිතා කිරීමට තැත්කිරීමට එරෙහිව අනතුරු ඇඟවීමක් ලෙස සලකා සිරදඬුවම් නියම කළ බව අධිකරණය මෙහිදී පැවසීය.
මෙම චීන ජාතිකයාව, 2020 මැයි මාසයේදී ෆෙඩරල් බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, වැටුප් ආරක්ෂණ වැඩසටහන සහ ආර්ථික අනතුරු ආපදා ණය වැඩසටහනෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට වඩා වංචනිකව ලබා ගැනීම සඳහා මොහු විසින් බැංකු පහකට අයදුම් කර ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.
තමන් විසින් පාලනය කරන ලද සමාගම් දෙකක් හරහා සියගණනක් සේවකයන්ට ඩොලර් මිලියන ගණනක වැටුප් ගෙවන බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර මෙම පුද්ගලයා අදාළ වංචාවන් සිදුකිරීමට තැත්කර ඇතැයිද පැවසේ.







