කීර්ති ප්‍රනාන්දු –
පෙරේදා (03) සිදුවූ විදුලි කප්පාදුව පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා එය ඔවුන්ගේ අයිතියක් බවත් එහෙත් ඔවුන් මේ බලාත්මක කර ඇත්තේ මේ රටට නොගැලපෙන පනතක් යැයි පැවසිය යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.
“ නඩු දැමීම ඒ අයගෙ අයිතියක්. ඒත් ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් උත්පාදනය කරන්න බලාගාර නැති, ඉන්ධන ටික අද දුන්නොත් හෙට ලැබෙයිද කියලා විශ්වාසයක් නැති, ජල විදුලිය උත්පාදනය ක්ෂීණ වෙනකොට විකල්ප නැති මේ වගේ රටකට මහජන උපයෝගීතා කොමිසම් පනත ගලපන්නෙ කොහොමද කියලා විමසිය යුතුයි. මේ වගේ පනත් හරි සම්පත් ධාරිතාවක් තියන ඒ සම්පත් කළමනාකරණය කරගන්න පරිචයක් තියන රටකට. අපිට නෙමෙයි.“
“ චෝදනාවක් කරන්න අපි වරදක් කරලා නෑ. ඉල්ලුමට සරිලන සැපයුමක් උත්පාදනය කරගන්න බැරි වුනාම ස්වයංක්‍රීයව විදුලිය විසන්ධි වෙනවා. විදුලිය කපනවා නොවෙයි. විදුලිය කැපෙනවා. අපි කපන්නෙ නැතිව හිටියත් ස්වයංක්‍රීව කැපෙනවා. ඒක වළක්වා ගන්න තමයි අත්‍යාවශ්‍ය ප්‍රදේශ ආවරණය කරගෙන විදුලිය විසන්ධි කරන්නේ. “
“ මා දන්නා ආකාරයට විදුලිබල මණ්ඩලය මේ තත්වය මහජන උපයෝගීතා කොමිසටම දන්වලා තියෙන්නෙ. රටේ ඉන්ධන නැති බව, එක් බලාගාරයක ප්‍රශ්නයක් මතුවුනාම විකල්ප බලාගාර නැති බව, ජල විදුලියය උත්පාදනය කරනගන්න තරම් ජලාශවල වතුර නැති බව රටම දන්න කාරණාවක්. එය මහජන උපයෝගීතා කොමිසම විතරක් නොදැන එන්න විදිහක් නෑ . “
ඔහු වැඩිදුරටත් පැවසීය.







