-
බලය පාවිච්චි කරලා මිනී මරන්නෙ උන් නිවටයො… මිනී මැරීම සාධාරණීකරණය කරලා වීරසේකර මේ පාර්ලිමේන්තුවෙ කළ කතාවට කවදා හෝ උත්තර බඳින්න සලස්වනවා…
වෘත්තීය ජීවිතයේ මුල් අවධිවල සිට ඉතිහාසයක් ඇති සරත් වීරසේකර සහ සරත් ෆොන්සේකා ගැටුම අද (09) පාර්ලිමේන්තුවේ දී තවත් පියවරක් ඉදිරියට ගියේය.
කර්මාන්ත අමාත්‍යාංශ වැය ශීර්ෂය අවස්ථාවේ විවාදයට එක් වෙමින් උක්ත විෂය සම්බන්ධව නොව, තමන් කලින් සූදානම් වී සිටි පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂය දවසට අදාල කතාව කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා කතාව අවසන් කළේ මින් පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර විසින් ඔහු අරභයා කළ අපහාස්තමක කතාවට එවැනිම පිලිතුරක් ලබා දෙමිනි.
සරත් ෆොන්සේකා අද (09) පාර්ලිමේන්තුවේ දී ඒ කතාව ආරම්භ කළේ මෙසේය.
“අත්අඩංගුවට ගත් අය ඝාතනයට විරුද්ධවව මා කතා කළා. එතකොට සරත් වීරසේකර මැතිතුමා ප්‍රසිද්ධියෙ කිව්වා ටිංකරින් ලසන්ත කෙනෙක් ගැන. මං එහෙම කෙනෙක් ගැන දන්නෙත් නෑ. කිව්වෙත් නෑ.“
“මම කිව්වෙ අත්අංගුවට ගත්තු අය ඝාතනය කිරීමේ අකටයුත්ත දිගින් දිගටම සිදුවෙනවා. ඒක ආමානුෂිකයි. ම්ලේච්ඡයි කියලා.
සරත් වීරසේකර කිව්වා ටිංකරින් ලසන්ත මගෙ සමීපයෙක් කියලා. සරත් වීරසේකරට කියන්න ඕන ඔහු වගේ ජාවාරම් කාරයින්ගෙන් පාතාලයන්ගෙන් මුදල් ගන්නෙ නෑ, ඔවුන්ව හුරතල් කරන්නෙ නෑ. කියලා.“
එසේ කී ෆොන්සේකා මන්ත්‍රීවරයා ඡායාරූප දෙකක් සභාවට ඉදිරිපත් කර කීවේ සරත් වීරසේකර සමග සිටින පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක් ලඩියා නැමැති මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයා සහ යහලුවෙක් බවය. එවැනි පුද්ගලයින් ඇසුරු කිරීම ඇමතිවරයාගේ තනතුරුට නුසුදුසු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
“ඔහු මේ පාර්ලිමේන්තුව තුළ කියනවා සන් ෂයින් සුද්දා මැරුවෙ ටිංකරින් ලසන්ත මරපු හින්දලු. එහෙනම් සන් ෂයින් සුද්දා එයාගෙ යාලුවෙක් ද? අපට පේන විදිහට ඔහු පාතාලයේ එක් කල්ලියකට ලං වෙලා අනෙක් කල්ලිය ඝාතනය කරලා තියනවා.“
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේ මින් පෙර තමන් කළ ප්‍රකාශයෙන් නිවට යැයි කීවේ පොලිසියට නොවන බවය.
“නමුත් වීරසේකර සතුටු කිරීම සඳහා මිනී මරන උන් නිවටයි කියන්න මා බය නෑ. මේ වගේ ම්ලෙච්ච නිවට වැඩ කරන්න අනුබල දෙන්නෙත් නිවටයො තමයි. බලය පාවිච්චි කරලා මිනී මරනවා නම් ඒක අනිවාර්ය නිවටකමක් .“
“සරත් වීරසේකර මිනීමැරීම අනුමත කරමින් මේ පාර්ලිමේන්තුවෙ කළ කතාව හැන්සාඩ්ගත වෙලා තියන නිසා මිනිස්සු ඝාතනය කරලා අපරාධ නවත්වන්න ඕන කියලා හිතන ඇමතිට ඒ සඳහා කවදා හෝ උත්තර දෙන්න සලස්වනවා කියන එක අපි කියනවා. “







