පහල කඩුගන්නාව ප්රදේශයේ පළතුරු කඩවලට ඉහලින් කන්දේ මීටර් 100ක පමණ භූ පැල්මක් ඇති බවට තොරතුරු අනාවරණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන පවසයි
කන්දේ කොටසක් අධික වර්ෂාවත් සමඟ අස්ථාවර වී තිබෙන බවත් එහි ඇතිව තිබෙන පැලුම් කිහිපයක් තුළට කන්ද මුදුනේ සිට පැමිණි ජල පහර ඇතුවී පහළට පැමිණ තිබෙන බවත් එම පැලුම් කිහිපය වසා දැමීම මුලින්ම කළ යුතුව තිබෙන බවත් ඔහු කීය.
ප්රධාන මාර්ගයට ඉහළින් ඇති බෑවුම් සහිත ප්රදේශයේ පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඊට විසඳුම් ලබාදීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට කටයුතු යොදනු ඇතැයි ද හෙතෙම කීය.
තවදුරටත් වර්ෂා සහිත කාලගුණයක් පවතින බැවින් එහි පර්යේෂණ කටයුතු සහ යථා තත්ත්වයට ගැනීම් සඳහා බාධා පැමිණ ඇති බව ඔහු කීවේය.
අධ්යක්ෂ ජනරාල්වරයා සති දෙකක් ඇතුළත දී මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවද කීය







