ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ පකිස්තානු ඉනිම අවසන්ය. පකිස්තානු කණ්ඩායම ලකුණු 176ක් ලබා ගත්තේය. ඒ කඩුලු 04ක් දැවී යෑමෙනි.
කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.
මේ තරගාවලියේ රිද්මය වෙනස් කළේ පකිස්තානු කණ්ඩායමය. ඔවුන් ඔවුන්ට ආවේනික විශිෂ්ට පිතිකරණයක් මේ තරගාවලියේ දී ලෝකයට ප්‍රදර්ශනය කළේය.
ආරම්භක පිතිකරු යුවල වූ මෙහොමඩ් රිස්වාන් සහ නායක බබාර අසාම් පළමු කඩුල්ල සඳහා මනරම් ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. මොහොමඩ් රිස්වාන් ආකර්ෂණීය ලකුණු 67ක් පන්දු 52ක දී ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 04ක් සමගිනි. බබාර් අසාම් ලකුණු 39ක් ලබා ගත්තේය. ඒ පන්දු 34ක දීය.
ෆකාර් සමාන් විශිෂ්ට පිතිකරණයක යෙදුනේය. පන්දු 32ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර තුනක් සමගින් ඔහු ලකුණු 55ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී මිෂෙල් ස්ටාක් ලකුණු 38 කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 30කට කඩුල්ලක් හා ඇඩම් සම්සා ලකුණු 22කට කඩුල්ලක් ලබා ගත්තේය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 176ක තියුණු ඉලක්කයක් හිමි වී තිබේ.







