-
කාබනික පොටෑසියම් පොහොර නමින් ලොවෙත් නැති අලුත් පොහොරක් හදලා… කාබනික කියා ලෝකය අන්දන්න හදමින් ගෙනත් බෑවෙ රාසායනික පොහොර…
-
රට ඉල්ලුවෙ මැදහත් ගොවිතැනකට අවශ්‍ය රසායනික පොහොර තමයි… විහිලුවක් නොවී ඇත්ත කියා බෙදන්න… කෘෂිකර්ම ක්ෂේත්රයෙන් ඇමතිට යෝජනාවක්…
අද කොළඹ වරායට ගොඩ බානු ලැබුවේ කාබනික පොහොර නොව, පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් මෙපමණ කල් රතු කැට පොහොර ලෙස හැඳින්වූ රසායනික පොහොර තොගයක් බව ලංකාසරට වාර්තා වේ.
මේ අවස්ථාවේදී කාබනික ගොවිතැන කරන්නට ගොස් රටේ සමස්ථ කෘෂිකර්මාන්තයම බිඳ දමන්නේ නැතිව රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කිරීම යහපත් දෙයක් වුවත් කාබනික තෝම්බුව වැරදී ගිය පසු කෘෂිකර්ම ඇමතිවරයා එම ආනයනික රසායනික පොහොර තොගය කාබනික පොහොර ලෙස නම්කර ගොවීන් වෙත මුදා හැරීමට උත්සාහ කිරීම කෘෂිකර්ම ක්ෂේත්‍ර තුළ බලවත් විහිළුවකට ලක් වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ මෙම පොහොර කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙස ය. ලෝකයේ කොතැනකවත් එවැනි පොහොරක් නැති බව අප කළ විමසීමක දී පැහැදිලි කළ ක්ෂේත්රයේ ප්රාමණිකයෙක් ඉතා සරලව මෙසේ උත්තර දුන්නේය.
“ පොටෑසියම් ක්ලෝරයිඩ්වල තියෙන්නෙ පොටෑසියම් සහ ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය. ඒවා රසායනික විද්‍යාත්මකවම අකාබනිකයි. කාබනික පොහොර කියන්නෙ ශාඛ හා සත්ත්ව කොටස්වලින් හදන පොහොර. මේ කාබනික අකාබනික තත්ව හයේ පන්තියෙ ඉඳන් දරුවොන්ටත් උගන්වනවා.“ කෘෂිකර්ම ක්ෂේත්රයේ ප්‍රමාණිකයෙක් ලංකාසරට පැවසීය.
අදම ගොඩබා අදම ගොවිබිම්වලට පැටවිය හැකි ද?
කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ අද ලිතුවේනියාවේ සිට චෙගෝරස් නැවෙන් පැමිණි පොහොර තොගය අද පාන්දරම අම්පාර මඩකලපුව අනුරාධපුරය, පොලොන්නරුව කුරුණෑගල පුත්තලම සහ ත්‍රීකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුල ප්‍රදේශවලට යැවූ බවය.
මේ සම්බන්ධව කළ විමසීමක දී රසායනික පොහොර වුවත් අද වරායට පැමිණි පසු ගොඩබෑමක් සිදු කර හෙට ගොවීන්ට ලබා දෙන්නට නොහැකි බවත් කාර්මික තාක්ෂණික ආයතනයට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යවා තත්ත්ව පරීක්ෂාවක් කළ යුතු බවත් මෙතෙක් සිදුවු ක්‍රම වේදය එය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කළේය.
අද පැමිණි පොහොර තොගය පිළිබඳ ලංකාසර කළ විමසීමක දී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ එම පොහොර තොගය පොටෑසියම් ක්ලෝරයිඩ් බවය.
ලංකාවට පැමිණි විගස එය ගොවීන් වෙත බෙදා දිය හැකි දැයි විමසන කල ඔහු කියා සිටියේ එවැන්නක් කළ නොහැකි බවය.
මෙයට පෙර ලංකාවට පැමිණ ඇති රසායනික පොහොර තොගයක් හෙට ගොවීන්ට බෙදා දෙනු විනා අද වරායට පැමිණි පොහොර හෙට ගොවීන්ට බෙදා නොදෙන බවද හෙතෙම කීය.
පොහොර නැතැයි කනස්සලට පත්ව සිටින ගොවීන්ගේ බිය සැක දුරු කරනුවස් පොහොර පැමිණ ඇති බවට තොරතුරු ප්‍රචාරය වන්නේ යැයි ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
“මෙවැනි රසායනික පොහොර රටට ගෙන ආ විගස ගොවීන් අතර බෙදා නොදෙන්නේ ඒවායේ අඩංගු බැර ලෝහ ප්‍රමාණයන් පිළිබඳව නිශ්චිතව තක්සේරු කරගත යුතු නිසා. එසේ තක්සේරු නොකර මේවා ගොවිබිම්වලට යෙදීමෙන් අපේ පරිසරයට බලවත් තර්ජන ඇති වීම නොවැළැක්විය හැකියි…“ කෘෂිකර්ම ක්ෂේත්රයේ ආරංචි මාර්ග පැහැදිලි කළේය.