-
යළි යළිත් දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමේ වගකීම ගැන පැහැදිළි කළත් ඖෂධ නියාමන අධිකාරිය ඒ සම්බන්ධව කටයුතු කර නෑ…
-
දත්ත ප්‍රතිස්ථාපනය කළ හැකියි… ඒ බව වගකිවයුත්තන්ට ලිඛිතව දැන්නුවා… එපික් ලංකා සමාගම අධිකරණයේ දී කියයි…
-
සමාගම හා ඖෂධ නියාමන අධිකාරිය එක්ව දත්ත ගොනුව ප්‍රතිස්ථාපනයට අධිකරණයෙන් අවසර… යළි දත්ත ලැබුනොත් නඩුව සමතයකට…
ජාතික ඖෂධ නියාමන අධිකාරිය තම දත්ත සහ වැඩ ප්‍රවාහ කළමනාකරණය අදාළ පෞද්ගලික සමාගමට පැවරීමේ දී එම සමාගම වෙත එම දත්ත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් ගිවිසුම් ප්‍රකාරව පවරා නොමැති බව අද (13) මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.
එසේම දත්තවල සංවේදී භාවය පිළිබඳව කිසිදු වෙන් කිරීමක් එම අධිකාරිය මඟින් කිසිදු අවස්ථාවක සිදු නොකළ බවත් ඖෂධ අධිකාරියේ ප්‍රධාන දත්ත ගබඩාවෙන් පිටත වූ දත්ත ගොනුවක් මැකී යාම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගවන නඩුවේ එපික් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ අනාවරණය කළේය.
මෙම දත්ත ගොනුව මැකීයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතීඥ ඉන්දතිස්ස මේ බව ප්‍රකාශ කළේ රජයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියොජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙම දත්ත පද්ධති ආරක්ෂාව සඳහා අදාළ සමාගම කිසිදු පියවරක් ගෙන නොමැති බවට කළ ප්‍රකාශයට පිළිතුරක් ලබා දෙමිනි.
රජයේ පාර්ශවයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි දිලීප පීරිස් මෙම දත්ත ගොනු අතුරුදන් වීම ඖෂධ මාෆියාවේම එක් ප්‍රතිඵලයක් විය හැකි බවද සඳහන් කළ අතර මෙම දත්ත ආරක්ෂා කර ගැනීම සමාගමේ වගකීමක් බව පෙන්වා දුන්නේය.
ඊට ප්‍රතිචාර දක්වමින් එපික් ලංකා සමාගම වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥ කාලිංග ඉන්දතිස්ස සඳහන් කළේ මෙම දත්ත කළමනාකරණය කරන ලද සමාගම එම දත්ත ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ බලධාරීන් හමුවේ පෙන්වා දී තිබුණද අදාල සමාගම තම කාර්යය සඳහා ගිවිසුම් ගත වීමේදී එවැනි වගකීමක් පවරා නොතිබූ බවත් මෙම ගිවිසුම මෙම රාජ්‍ය ආයතන දෙකම හොඳින් නිරීක්ෂණය කර අත්සන් කර ඇති බවත් ය.
මෙහිදී එපික් ලංකා සමාගම් පාර්ශ්වය මෙම ප්‍රධාන දත්ත පද්ධතියෙන් පිටත මැකි ගිය දත්ත ගොනුව යළි ප්‍රතිසාධනය කිරීමට හැකියාවක් පවතින බව අදාළ බලධාරීන්ට ලිඛිතව පැහැදිළි කරදී ඇති බව ප්‍රකාශ වූ අතර මෙම කටයුත්ත එපික් ලංකා සමාගමත් ජාතික ඖෂධ නියාමන අධිකාරියත් එක්ව සිදු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නේය .
එසේම මෙම දත්ත පද්ධතිය වෙත පිවිසීම වළක්වමින් පනවන ලද වාරණ නියෝගය ඉවත් කළ මහෙස්ත්‍රත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස 09 වැනිදාට කල් දැමූ අතර අදාළ දත්ත ගොනුව යළි ලබා ගත හැකි වුවහොත් මෙම නඩුව සමතයකට පත් කළ හැකි බවද ප්‍රකාශ කළේය.







