මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තිය පුහුණු ආයතනයේ පුහුණුව ලද ළමයෙකු ආයතනය මගින් ප්‍රායෝගික පුහුණුව සඳහා රසකැවිලි නිෂ්පාදය කරනු ලබන පෞද්ගලික ආයතනයකට යොමුකර සිටියදී එහි සේවිකාවක විසින් එම දරුවා බලහත්කාරයෙන් රඳවා තබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අදාළ කාන්තාව සමඟ එහි හිමිකරු ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ වෘත්තිය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනය වෙත විශේෂ අවශ්‍යතා සහිත පිරිමි දරුවන් සිව් දෙනෙකු යොමුකර ඇත. එම දරුවන්ට නිවෙස් වලට යාමට නොදී සේවිකාවක විසින් නිතර ඔවුන් ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන අතර ළමුන් සිව් දෙනෙකු පසුව එම ස්ථානයෙන් පළාගොස් තිබේ.
එක් ළමයෙකු ආයතනයේ කාමරයක් තුළ බලහත්කරයෙන් රඳවා තබාගෙන සිටින බවට ළමයාගේ දෙමව්පියන් විසින් මහනුවර පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිස් කණ්ඩායමක් ගොස් එම ස්ථානය සෝදිසි කළ අවස්ථාවේ ළමයා සොයා ගෙන ඇත.
හතළිස් එක් හැවිරිදි සැකකාර කාන්තාව මෙම ළමයාව අවස්ථා ගණනාවකදී ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ළමයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. රස කැවිලි ආයතනයේ හිමිකරු නිවසට ගියවිට ආයතනය තුළ රැඳී සිට ඇත්තේ මෙම කාන්තාව සහ ළමයා පමණක් බව පොලීසිය පවසයි.
රජයට අයත් වෘත්තිය පුහුණු ආයතනය මගින් ප්‍රායෝගික පුහුණුව සඳහා රස කැවිලි නිෂ්පාදන ආයතනයට ළමුන් යොමුකර තිබෙන්නේ නිත්‍යානුකූලවද යන්න සොයා බලන බව පොලීසිය පවසයි. මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.