තමන් කොරෝනා වසංගතයට වඩා භයානක බවත් එක රැයින් අලිමංකඩදී හමුදාවේ අය දෙදහසක් තුන් දහසක් ඝාතනය කළ බවටත් පොදු ජන පෙරමුණේ මෙවර මහ මැතිවරණ අපෙක්ෂකයකු ලෙස තරඟ කරන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදු කරන ලද ප්‍රකාශය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බරපතල ප්‍රකාශයක් බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.
කරුණා අම්මාන් විසින් ප්‍රසිද්ධ රැස්වීමකදී සිදු කළ මෙම ප්‍රකාශය රටේ නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස අභියෝගයකට ලක් වන බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ එවැනි පුද්ගලයන්ට තම පක්ෂයේ නියෝජ්‍ය සභාපතිකම් ලබා දී සිදු කරන දේශපාලනය ප්රශ්නකාරී බවද සඳහන් කළේය.
අත්තනගල්ල ප්‍රදේශයේදී අද (20) උදෑසන පැවැති රැස්වීමකදී මේ බව සඳහන් කළ විජයවර්ධන මහතා දකුණේ දී දේශාභිමානය සහ දේශප්‍රෙමය ගැන කතා කරමින් ඡන්දය දිනා ගන්නා අතරේ උතුරට ගොස් දහස් ගණනින් හමුදා සාමාජිකයන් ඝාතනය කළ බව කියා උතුරේ ඡන්දය දිනා ගැනීමට කටයුතු කරන දේශපාලකයින් පිළිබඳව තමන් කණගාටුවට පත් වන බව ද පැවසීය