ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල් හත්සිය පනස් තුනක් ජාතික පාසල් ලෙස නම් කර තීන්ත ගෑමට නාමපුවරු සහ ගේට්ටු ඉදිකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන එක්දහස් පන්සිය හයක මුදලක් ලබා දී තිබේ.
ඒ එක් පාසලකට රුපියල් මිලියන දෙක බැගිනි.
පළමු අදියර යටතේ තෝරාගත් පාසල් එකසිය විසි තුනකට සහ දෙවන අදියර යටතේ තෝරාගත් පාසල් හයසිය තිහක් සඳහා මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශය මගින් කළ දැනුවත් වීමකින් පළාත් සභා හරහා මෙම මුදල් ලබා දී තිබේ.
වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්මට අනුව රටපුරා ජාතික පාසල් දහසක් ඇති කිරීමේ වැඩසටහන යටතේ මෙම මුදල් පාසල් වෙත ලබා දී තිබේ.
තීන්ත ගා නාම පුවරු සවි කිරීමෙන් අනතුරුව ජාතික පාසල් ලෙස නම් කෙරෙන මෙම පාසල්වල ගුණාත්මක සංවර්ධන කටයුතු සිදු කරන්නේ තුන්වන අදියරේ දී බව වාර්තාවේ.
නාම පුවරු සවි කළ පාසල් ලබන මැයි දහවැනි දින ජාතික පාසල් බවට නම් කිරිමේ සමාරම්භක උත්සව පැවැත්වීමට නියමිතව තිබූ අතර පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත සමාරම්භක උත්සව කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කේ කපිල සීකේ පෙරේරා සියළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ඉකුත් ජූනි තුන්වැනිදින ලිපියක් මගින් දැනුම් දි තිබේ.
සංචරණ සීමා ඉවත්කල විගස ජාතික පාසල් සංවර්ධනය කර ජනගත කරන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඉට අවශ්‍ය සියළු කටයුතු අවසන් කර සූදානමින් සිටින ලෙසද එම ලිපියෙන් දැනුම් දී තිබිණි.
මේ පිළිබඳ ලංකාසර කළ විමසුමක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ පාසලක් ගුණාත්මකව සංවර්ධනය නොකර නාම පුවරුවක් සවිකිරීමෙන් පාසලක් ජාතික පාසලක් තලයට නොපැමිණෙන බවත් මෙය විද්‍යාත්මක පදනමක් නැති විහිළුවක් බවත්ය.
බහුතරයක් පළාත් සභා විසුරුවා ඇති මොහොතක සිදුකළ යුත්තේ ආණ්ඩුකාරවරු ලවා රජයේ මුදල් අවභාවිත කරමින් ජාතික පාසල් නාමපුවරු සහ ගේට්ටු සඳහා මුදල් වැය කිරීම නොව දරුවන්ගේ කඩා වැටුණු අධ්‍යාපනය ගොඩනැගීමට සැලසුම් කිරීම බවද හෙතම කීය.







