ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දියත් කර ඇති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී පැන නගින ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට අසමත් වන හෝ පැහැර හරින රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට කරුණු වාර්තා කරන ලෙසට ගම සමඟ පිළිසඳර ක්‍රියාවලිය ක්‍රියාත්මක කරවීම සඳහා කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් උපදෙස් දෙනු ලැබ ඇත. මෙම විශේෂ කාර්ය සාධක බලකාය පත් කිරීම සහ ඔවුන්ට අයත් කාර්යය සහ බලතල සම්බන්ධයෙන් පසුගිය අප්‍රියෙල් 09 වැනිදා ජනාධිපති විධානයක් ලෙස නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ මේ බව සඳහන් වේ. .
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සාමාජිකයන් 16 දෙනකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකායට මෙම කාර්යය අනිවාර්යයෙන් ඉටු කළ යුතු කාර්යයක් ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් දක්වා ඇති අතර ඊට හේතු වී ඇත්තේ මෙම වැඩසටහනේදී ජනාධිපතිවරයා විසින් ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ලබා දෙන විසඳුම් ක්‍රියාත්මක කිරීම හිතාමතාම ඇතැම් නිලධාරීන් පැහැර හරින බවට අනාවරණය වීමය. මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති රාජ්‍ය නිලධාරීන්ගේ ඉහළ පෙළේ රැස්වීමකදී කරුණු සාකච්ඡා කෙරුණු අතර එයින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, සීතා අරඹෙපොළ , චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරළ, සංජීව එදිරිමාන්න, නිපුණ රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, සිවනේසතුරෙ චන්ද්‍රකාන්තන්, අමල් මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ යන සාමාජිකයන් 16 දෙනා මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය නියෝජනය කරන බවද ද මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යෙය් දැක්ම ට අනුව ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය සවිමත් කිරීම අරමුණු කරගෙන මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇ.ත. ගම සමඟ පිළිසඳර වැඩසටහන පසුවිපරම් ක්‍රියාවලිය සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරියක වන චන්දිමා වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට නිවේදනය අනුව පත් කොට ඇත.







