දිනසේන රතුගමගේ
ඉන්දීය රුපියල් කෝටි 3 ක ( ශ්‍රී ලංකා රුපියල් කෝටි හතහමාරක් පමණ ) වියදමකින් ඉන්දීය රජය විසින් යාපනයේ ඉදි කරන ලද සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැන නැගී තිබේ.
මෙම සංස්කෘතික මධ්‍යස්ථානය යාපනය මහ නගර සභාවට අයත් ඉඩමක ඉදි කොට ඇති අතර ඊට මධ්‍යම රජයේ අනුමැතියක් හෝ ගිවිසුම් අත්සන් කිරීමක් සිදු වී නොමැත.
මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළහොත් එහි සේවය කිරීම සදහා අවම වශයෙන් පුද්ගලයින් හැත්තෑපහක පමණ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන අතර මෙම ගොඩනැගිල්ල නඩත්තු කිරීම සඳහා මසකට රුපියල් ලක්ෂ පනහක මුදලක් වැයවෙතැයි ගණන් බලා තිබේ.
මේ මුදල දැරීමටත් සේවකයින් බදවා ගෙන ඔවුන්ට වැටුප් ගෙවීමටත් යාපනය මහ නගර සභාවට හැකියාවක් නොමැති නිසා මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනය කිරීම මෙතෙක් ප්‍රමාද කොට තිබේ.
මෙම ගොඩනැගිල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මත යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ආනෝල්ඩ් එමානුවල්ගේ කාලයේදී ඉදිකොට ඇති අතර යාපනයේ බලධාරීන් සාකච්ඡා කොට ඇත්තේ මෙම ගොඩනැගිල්ල හා ඉඩම මධ්‍යම රජයට පවරා දීම වඩාත් සුදුසු බවයි.







