දිනසේන රතුගමගේ
යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් තුන් දෙනෙකුගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක් වී මුහුදේ ගිලෙමින් තිබියදී ඉන්දීය නාවික හමුදාවේ පිරිසක් විසින් එම ධීවරයින් තුන් දෙනා හා යාත්‍රාව 4 දා බේරා ගෙන තිබේ.
පසුගිය 2 දා යාපනයෙන් මුහුදු ගිය එම බෝට්ටුව ඉන්දියාවේ පුෂ්පවානම් මුහුදු ප්‍රදේශය වෙත ගසා ගෙන ගොස් ගිලෙන්නට පටන් ගෙන ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙනි.
බෝට්ටුවේ සිටි යාපනයේ පදිංචි පී.ජොන්සන් (41) එස්.ගුරුපරන් (38) හා කේ.රේගන් (30) යන ධීවරයින් තුන් දෙනා හා බෝට්ටුව සමග ඉන්දීය නාවික හමුදාව විසින් බේරා ගෙන ගොස් වෙරළාරක්ෂක පොලීසිය වෙත බාර දී තිබේ.
යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මේ ධීවරයින් තුන්දෙනා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටියි.