මනම්පිටිය නිමල් ජයරත්න –
කටානේ සිට මෝටර් රථයකින් පොළොන්නරුවට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් නිදහස් කරගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ලබාදීමට ඩුබායි රාජ්‍යයේ සිට ඇමතුමක් ලැබී ඇති බවත්, එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වැටලීම කළ පොලිස් නිලධාරියා ඇතුළු පවුලේ පිරිස ඝාතනය කරන බවට මරණ තර්ජන එල්ල වී ඇති බවත් පොලොන්නරුව පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොළොන්නරුව දූෂණ මර්දන අංශය විසින් ඊයේ (12) සවස මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී සැකකාර තරුණ යුවළ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 78ක් සහ මිලිග්‍රෑම් 780ක් පොලිස් භාරයට ගැනිණි. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 24 පසුවන කටාන සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් කොටුවීමෙන් පසු, ඔවුන් නිදහස් කරගැනීම සඳහා වැටලීම සිදුකළ පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙස සැකකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇත. එම අල්ලස් මුදල පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන් අනතුරුව ‘මිහින්’ නැමති වට්සැප් ගිණුමකින් වැටලීමට මැදිහත් වූ පොලිස් පරීක්ෂක සුජිත් රණතුංගට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ, අයිස් මත්ද්‍රව්‍ය සහ ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථය අද (13) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගේ උපදෙස් මත, මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. චන්ද්‍රසේකර, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ගලේවෙල ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.









