පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ සිය උපවාසය නතර කිරීමට තීරණය කර තිබේ.
නීතිඥ උපදෙස් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද, උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව රෝගී වූ සුරේෂ් සලේ මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ රැඳී සිටිමින් ප්‍රතිකාර ලබයි.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට මූලික වූ ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේදී ඔහුට එල්ල වූ අමානුෂික සහ කෲර සැලකීම්ය. තමන්ට එහිදී අතිශය අවමන් සහගත ලෙස සහ “බල්ලෙකුට මෙන්” සැලකූ බවට සුරේෂ් සලේගේ පවුලේ සාමාජිකයන් සහ නීතිඥවරුන් සෘජුවම චෝදනා කර තිබේ. එම රැඳවුම් කුටිය “නිරයක්” බඳු යැයි විස්තර කර ඇති ඔහුගේ බිරිඳ මනෝරි සලේ, මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබිණි. මෙම අමානුෂික වධහිංසා හේතුවෙන් උපවාසයේ නිරත වූ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.
මීට අමතරව, තමන්ව රඳවා තබා ගැනීමට යොදාගෙන ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙසත්, ඊට යටත්ව සිදුකරන දිගුකාලීන රැඳවුම් නතර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර එම ධූරයෙන් ඉවත් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මුල් කරගනිමින් ඔහු මෙම උපවාසය දියත් කර තිබිණි. 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව පසුගිය පෙබරවාරි මාසයේ සිට CID රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ, තමන්ට එල්ල වන සියලු චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටියි.







