ඉඳුනිල් කහටපිටිය –
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන ටියානා සුමනසේකර (Tiana Sumanasekera) මින් ඉදිරියට ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර තිබේ.
ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය තම ක්‍රීඩා දිවියේ අභිමානවත් මෙන්ම සංවේදී සන්ධිස්ථානයක් වන බවයි.
කුඩා කල සිටම ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ ඇය, තමන් මුල්ම දිනයේ සිටම මෙම ක්‍රීඩාවට ආදරය කළ බව සඳහන් කරයි. පසුගිය වසර පහක කාලය තුළ අමෙරිකානු ජාතික කණ්ඩායම (Team USA) නියෝජනය කිරීමට ලැබීම තමන්ට ලැබුණු ගෞරවයක් බවත්, ඒ හරහා උදාවූ සියලු අවස්ථාවන් පිළිබඳව කෘතඥ වන බවත් ඇය පවසන්නීය.
කෙසේ වුවද, මින් ඉදිරියට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදීම තමන්ගේ “නිරපේක්ෂ සිහිනයක් සැබෑවීමක්” වැනි යැයි සුමනසේකර පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තුළින් තමන්ගේ උරුමයට නිසි ගෞරවයක් ලබා දීමට මෙන්ම, ශ්‍රී ලංකාව සහ සමස්ත දකුණු ආසියානු කලාපය තුළ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් දායක වීමට අවස්ථාව ලැබෙන බව ඇය විශ්වාසය පළ කරයි.
“ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකු ලෙස, මගේ හදවත සැමවිටම මේ රටවල් දෙකටම එක හා සමානව ආදරය කරනවා,” යැයි පවසන ටියානා සුමනසේකර, තමන්ට සහය දැක්වූ සැමට ස්තුතිය පුද කරමින් ඉදිරි ක්‍රීඩා ගමන පිළිබඳව දැඩි උද්යෝගයකින් පසුවන බව ද සඳහන් කර තිබේ.









