අසේල කුරුළුවංශ –
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී අයිස්, කුෂ් සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සිසුවාගේ ශිෂ්‍ය භාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර, ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
විශ්වවිද්‍යාල විනය කමිටුව මගින් සිදු කරන ලද විධිමත් හා දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම දැඩි තීරණය ගෙන ඇති අතර, උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගේ නිර්දේශ මත ඊට අදාළ නිල ලිපිය මේ වන විටත් අදාළ සිසුවා වෙත භාර දී ඇත.
මෙලෙස ශිෂ්‍ය භාවය අහෝසි කර විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට ලක්ව ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි, 24 හැවිරිදි සිසුවෙකි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ (අවසන් වසරේ) අධ්‍යාපනය ලබමින් සිටි අයෙකි.
- නේවාසිකාගාර කාමරය වැටලීම
මෙම සිසුවා විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ නේවාසිකාගාර කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට විශ්වවිද්‍යාලීය විනය පාලක අංශය වෙත රහසිගත තොරතුරක් ලැබී තිබිණි. එම තොරතුර ලැබී තිබුණේ පේරාදෙණිය පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගනු ලැබූ වෙනත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණුවලට අනුවය.
ඒ අනුව ක්‍රියාත්මක වූ ශිෂ්‍ය විනය පාලක නිලධාරීන්, රාත්‍රියක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ‘අයිවර් ජෙනිංග්ස්’ ශාලා නේවාසිකාගාරයේ සිසුවා රැඳී සිටි කාමරය හදිසි පරීක්ෂාවකට ලක් කරනු ලැබුවේය. එහිදී එම කාමරය තුළ සඟවා තිබූ පැකට් කරන ලද සහ පැකට් නොකරන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට විනය පාලක නිලධාරීන්ට හැකි විය.
- භාණ්ඩ රැසක් විනය පාලක භාරයට
මෙම වැටලීමේදී සැකකාර සිසුවා සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට් 68ක්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනිණි. මීට අමතරව මත්ද්‍රව්‍ය කිරා බැලීම සහ සූක්ෂ්ම ලෙස වෙන් කිරීම සඳහා භාවිත කරන ඩිජිටල් තරාදි (කිරුම් උපකරණ) 2ක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා සකස් කරන ලද කුඩා පොලිතීන් පැකට් විශාල ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 75,000කට අධික මුදලක් ද විනය පාලක නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා ලදී. පසුව සැකකාර සිසුවා සහ සොයාගත් ද්‍රව්‍ය සියල්ල පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
- විනය පරීක්ෂණය සහ ඉදිරි ක්‍රියාමාර්ග
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් අධිකරණමය මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබියදී, විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ද අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වහාම ආරම්භ කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ විනය කමිටුව, සිසුවාට එල්ල වී ඇති චෝදනා සනාථ වීම හේතුවෙන් ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට නිර්දේශ කළේය.
විශ්වවිද්‍යාලය තුළ කලක් තිස්සේ රහසිගතව ක්‍රියාත්මක වී ඇති මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු සහ ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී සිටින සෙසු විශ්වවිද්‍යාල සිසුන් කවුද යන්න හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.









