දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න යන අය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෝසමක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම සිදු කරන ලදී.
පාස්කු දින ප්‍රහාරයට අදාළව සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් සමඟම, මෙම පිරිස විමර්ශන ක්‍රියාවලියට එරෙහිව මහජන විරෝධයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙසේද පැවසීය.
“තුන්වන සැකකරු රෝහල්ගත වීමත් සමඟ එම කාලය තුළ ඉහත සඳහන් කළ පිරිස අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන අප්‍රසාදයක්, සැකයක්, අවමානයක් සහ අපහාසයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. ඔවුන් අධිකරණය කෙරෙහි මහජන විරෝධයක් ඇති කිරීමේ සංවිධානාත්මක සහ සැලසුම් සහගත උත්සාහයක නිරත වී ඇති අතර, මේ හරහා විමර්ශනවලට දැඩි අගතියක් සිදුව තිබෙනවා.”
මෙම පුද්ගලයින් විවිධ විද්‍යුත් මාධ්‍ය ආයතන සහ ෆේස්බුක් (Facebook) ජාලය ඔස්සේ සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශ සියල්ලක්ම සාක්ෂි සහිතව මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ අනුව, 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්ඡය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත ප්‍රකාරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, සුගීෂ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන අයට එරෙහිව ඉදිරියේ දී අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.









