දිළිඳු ගොවීන්ට බෙදා හැරීම සඳහා රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක ප්‍රමාණයක් නිලධාරීන්ට බලපෑම් කරමින් සිය හිතවතුන් අතර බෙදා දී රජයට පාඩුවක් සිදු කිරීම ඇතුළු දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද (12) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ අධිචෝදනා දෙකක් යටතේය.
2014 ජනවාරි 01 වැනිදා සිට 2014 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට බෙදා දීමට මෙම බීජ බඩඉරිඟු තොගය ගෙන්වා තිබුණි. එහෙත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් අධ්යක්ෂ ඇතුළු ක්‍රම සම්පාදන නිලධාරීන්ට බලපෑම් කරමින්, එම බීජ බඩඉරිඟු තොගය සිය හිතවතුන් අතර බෙදා දීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දී ඇත.
මෙම සිද්ධියට අදාළව පසුගිය වසරේ ජූලි 04 වැනිදා අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, පසුව එම වසරේ අගෝස්තු මස 01 වැනිදා ඔහු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.







