ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්රමුඛ පෙළේ විශේෂඥයින්ගෙන් සමන්විත ඉහළ බලතල සහිත කමිටුවක් ශ්‍රී ලංකා රජය විසින් පත් කර තිබේ.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය කටයුතු කරනු ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ මූල්‍ය හා ආයතනික උපායමාර්ග පිළිබඳ විශේෂඥයෙකු වන දීපාල් ද මෙල් ද මෙහි සාමාජිකයින් ලෙස කටයුතු කරති.
ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජනය ද මෙම කමිටුවට ඇතුළත් කර ඇති අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඒ සඳහා නම් කරන ලද නියෝජිතයෙකු මෙන්ම ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නම් කරන ලද නියෝජිතයෙකු ද මෙම කණ්ඩායමට එක්ව සිටිති.
ව්‍යාපාරික ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය, විශේෂයෙන්ම සමාගම් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් (Mergers and Acquisitions) පිළිබඳ විශේෂඥයෙකුගේ සහභාගීත්වයෙන් මෙම මඩුල්ල තවදුරටත් ශක්තිමත් කර ඇත.
ආයතනික, ගුවන් සේවා සහ පොදු නීතිය පිළිබඳ පළපුරුද්දක් ඇති නීති විශේෂඥයෙකු ද මෙම කමිටුව සඳහා පත් කර තිබේ.
එසේම ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳ විශේෂඥයෙකු ද මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබයි.







