පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව සැක පිට රඳවා සිටින සුරේෂ් සලේ මාරාන්තික උපාවාසයක් ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල කරන ප්‍රකාශය කිසිම සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රකාශයක් බවත්, අධිකරණයේ විභාගයට ලක්වන කරුණක් සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමේ දී මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ දිනයේ රාත්‍රියේ ආහාර ලෙස බත් හැන්දක් සහ රාබු හොදි පත්තර කොලයක දමා සුරේෂ් සලෙයි වෙත ලබා දී ඇති බවය. මේ පහත් සැලකීමට විරෝධය දක්වමින් ජලය සහ ඖෂධ පවා ප්‍රතික්ෂේප කරමින් සුරේෂ් සලෙයි මාරාන්තික උපවාසයක් අරඹා ඇතැයි ගම්මන් පිල පැවසුවේය.
සලෙයි මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ප්‍රහාරයේ තුවන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය.
අද මාධ්‍ය හමුව තබමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“සුරේෂ් සලෙයි මැතිතුමා බලන්න අද දින උදෑසන ඔහුගේ සහෝදරයත් පුතත් රහස් පොලිසියට ගියා. ඒ අවස්ථාවේ දී ඔහු දැඩි ලෙස කඩා වැටිලයි හිටියේ. ඊයෙ රාත්‍රියේ ඔහුගේ රාත්‍රී කෑමට ලබා දිලා තියෙන්නෙ බත් හැන්දක් රාබු හොදි සමග පමණයි.”
“මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොලයක් බිම තියලා ඒකට තමයි බත් හැන්දයි රාබු හොදියි බෙදලා තියෙන්නේ.”
“පත්තර කොලය කෑම වලින් පෙඟිලා. ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දි පත්තර කොලය ඉරිලා කෑම ටික බිමට වැටිලා තියනවා.”
“මේ අමානුෂික පහත් සැලකීමට එරෙහිව ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා.”
“එතුමා මේ මාරාන්තික උපවාසයේ දී මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තියනවා. “
මෙම ප්‍රකාශය සම්බන්ධව පොලිසිය වහාම කරුණු පැහැදිලි කිරීමක් කළේය. එහි දැක්වෙන්නේ සුරේෂ් සලෙයි සම්බන්ධයෙන් පොලිසිය පහර දීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් සිදුකර නොමැති බවය.
සුරේෂ් සලෙයි සම්බන්ධව ක්‍රියා කරන්නේ සාමාන්‍ය සැකකරුවෙක් පිළිබඳව කටයුතු කරන ආකාරයටම බව පොලිසිය නිකුත් කළ නිවේදනය සඳහන්ව ඇත. අධිකරණය හමුවේ විවාදයට භාජනයවන කරුණක් අධිකරණයෙන් පරිබාහිරව මෙවැනි කරුණු ඉදිරිපත් කිරීමේ දී සංයමයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනය පහත දැක්වේ.









