ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් දේශීය වශයෙන් ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරත වන්නේද යන්න පිළිබඳව සැක මතු කරමින් තිගස්වනසුලු තොරතුරු ප්‍රමාණයක් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළ සුවිශේෂී වැටලීමක දී අනාවරණය වී තිබේ.
එම වැටලීමේ දී දෙමටගොඩ පාලිත පෙදෙසේ පිහිටි නිවසක සඟවා තිබූ, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද ගිනි අවි 19ක් ඊයේ (03) දින පොලිස් භාරයට ගැනිණි. එම ගිනි අවි සමග මත්කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට පත් විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී දැනට වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ පුත්‍රයාට මෙම අවි තොගය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෘජු සබඳතාවක් පවතින බවට පොලිසිය සැක කරයි. ඔහු මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොළඹ නගරය තුළදී මෙතරම් විශාල ගිනි අවි තොගයක් එකවර සොයාගත් පළමු අවස්ථාව මෙය වන අතර, බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ සඳහන් කළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සාර්ථක කරගත් බවයි.
පිස්තෝල වර්ගයේ ගිනි අවිවලට සමාන වන අයුරින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම දේශීය ගිනි අවි නිෂ්පාදනය කර තිබේ. අදාළ නිවස ජාවාරම්කරුවන් විසින් රහස් ගබඩාවක් ලෙස භාවිත කර ඇති අතර, එහි උඩුමහලේ කාමරයක තිබූ ‘බෆල්’ (Baffle) ස්පීකර් දෙකක් තුළ මෙම ගිනි අවි සඟවා තිබියදී සොයාගෙන ඇත. මාස තුනකට පෙර කුලී පදනම මත ලබාගෙන ඇති මෙම නිවසට, මෙම ගිනි අවි රැගෙන ආවේ කවුරුන් විසින්ද, කොහේ සිටද සහ කිනම් කාලයකදීද යන්න සෙවීම සඳහා මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.
දීර්ඝ මෙහෙයුමේ අදියර
මෙම දැවැන්ත ජාලය කොටුකර ගැනීමට හැකි වූයේ මැයි මාසයේ සිට පොලිසිය දියත් කළ අඛණ්ඩ වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙනි:
- මැයි මුල් සතිය: හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ පළමු සැකකරු අත්අඩංගුවට ගැනීම.
- දෙවන වැටලීම: ඔහුගෙන් ලද තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ තවත් සැකකරුවෙකු කොටු කරගැනීම.
- මැයි 19: කඩවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකහමාරක් සමඟ තෙවන සැකකරු අත්අඩංගුවට ගැනීම.
- මැයි 21: දෙමටගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 39යි ග්‍රෑම් 876ක් සමඟ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම.
මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටි සැකකරුවන් සිව්දෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත දෙමටගොඩ පාලිත පෙදෙසේ නිවස පරික්ෂා කිරීමට පොලිසිය පියවර ගත්තේය.
එහිදී මත්කුඩු සෙවීම සඳහා කළ සෝදිසියේදී මෙම ගිනි අවි තොගය හමු වී ඇත්තේ අනපේක්ෂිත අයුරිනි.
අත්අඩංගුවට පත් සැකකරුවන් ඇඹිලිපිටිය, මාතර සහ මතුගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකරගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන තිසේරා, මධුසංක, පොලිස් සැරයන්වරුන් වන සරත් (61030), ගයාන් (77930) සහ පොලිස් කොස්තාපල්වරුන් වන මැද්දෙකැටිය (85030), ලක්ෂාන් (20732) යන නිලධාරීහු මෙම වැටලීම සාර්ථකව සිදු කළහ.







