ශ්රි ලංකා නිදහස් පක්ෂයට නියමිත අපේක්ෂක කෝටාව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී නොලැබුණහොත් ශ්රි ලංකා නිදහස් පක්ෂයට එම මැතිවරණයේ දී තනිවම තරඟ කිරීමට සිදුවනු ඇති බව පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
පසුගිය මහමැතිවරණයේදී ද ශ්රී ලංකා නිදහස් පක්ෂයට අපේක්ෂකත්වයන් ලබා ගැනීමේදී විශාල අසාධාරණකම් සිදුවූ බවත් එම තත්ත්වය පක්ෂයේ බිම් මට්ටමට බලපාන හෙයින් මෙම තීරණය ගන්නා බවත් ඔහු ද සන්ඩේ ටයිමිස් පුවත් පතට ප්රකාශ කොට තිබේ.
එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ මේ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවය. යම් හෙයකින් ශ්රි ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරන ආකාරයට මෙම අපේක්ෂකත්ව අවස්ථා නොලැබුණහොත් අප පොදු ජන පෙරමුණ සමග එක්ව මැතිවරණයට ඉදිරිපක් වෙනවාද නැතිනම් තනිව පක්ෂයක් ලෙස තරග කරනවාද යන්න තීරණය කරන බවය.
එහිදී පුවත් පතට හිටපු ජනපති සිරිසේන පවසා ඇත්තේ පසුගිය මැතිවරණයේදී ශ්රි ලංකා නිදහස් පත්ෂය ඉල්ලු අපේෂකත්වයන් ලබා දුන්නේ නම් අවම වශයෙන් දැන් සිටින ශ්රිලනිප මන්ත්රිවරුන් 14 දෙනා වෙනුවට අවම වශයෙන් 25 දෙනකුවත් දිනා ගැනීමට හැකිව තිබූ බවය.
“ අපට කළුතර සහ නුවරඑළියෙන් එක අපේක්ෂකයකුටවත් අවස්ථාවක් දුන්නේ නැහැ. ගම්පහට අපි තුන් දෙනකු ඉල්ලුවා. ඒත් එක් අයකුට පමණයි අවස්ථාව දුන්නේ. මෙයින් අපට පක්ෂයක් ලෙස විශාල ප්රශ්නයක් බිම් මට්ටමේදී ඇති වුණා. ඒ තත්ත්වය අපි පළාත් සභාවේදීවත් නැති කර ගත යුතුයි“ යයිද මෛත්රීපාල සිරිසේන සඳහන් කර ඇත.