“ ඩේසි ආචිච්ගේ මැණික් මල්ලේ නඩුව ලෙස” ප්‍රකට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර වෙත කොළඹ මහාධිකරණය නිකුත් කර තිබූ සිතාසිය මත ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ජනාධිපති නීතිඥවරුන් වන උදිත ඉගලහේවා, ෆර්මාන් කාසීම් සහ නීතිඥ සුගත් කල්දේරා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ සහන් මාපා බණ්ඩාර නුගේගොඩ දිසා විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නිකුත් කළ නියෝගයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙලෙස සාක්ෂියට කැඳවීමට පැමිණිල්ල තීරණය කර ඇති බවයි.
විනිසුරුවරයෙකු ඉටුකළ නිල රාජකාරියක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහුව සාක්ෂියට කැඳවීම අනුමත කළ නොහැකි බවත්, එය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම නීතියේ ආධිපත්‍යයටද අහිතකර බලපෑමක් එල්ල කරන බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළහ.
ඒ අනුව අදාළ විනිසුරුවරයා සාක්ෂියට කැඳවීම සඳහා නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන ලෙසත්, මෙම පෙත්සම් විභාගය අවසන්වන තුරු එම සිතාසිය මත ඉදිරි කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ අධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. මෙම පෙත්සම යළි ජුනි මස 12 වනදා කැඳවීමට නියමිතය.







