උපේක්ෂා උඩුවැරැල්ල –
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොළඹ කොල්ලුපිටිය පෙඩ්රිස් මාවතේ පිහිටි 37/38 දරන නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ අද (08) උදෑසන මියගොස් සිටියදී සොයා ගත්තේය. අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දෙමින් සිටි ඔහු, මෙලෙස මියගොස් සිටියදී හමුවූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසකදීය.
කපිල චන්ද්‍රසේන අරවින්ද ද සිල්වාගේ මස්සිනාය. අරවින්දගේ බිරියගේ බාල නැගනියගේ සැමියා කපිල චන්ද්‍රසේනය. කපිල මෙම නිවසට එනනේ ඊයේ (07) සවස් භාගයේ ය. ඒ එම නිවසේ රැය පහන් කිරීම සඳහාය.

දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන බන්ධනාගාරයෙන් නිදහස්වන්නේ දැඩි කොන්දේසි සහිත ඇප ලබාගෙනය. එහෙත් ඔහුට ඇප දෙන්නට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනා රුපියල් 15000ක් ලබා දි කුලියට ගත් පුද්ගලයින් බව අල්ලස් කොමිසම හෙළිකරගැනීමත් සමග අධිකරණයේ විශ්වාසය කඩකිරීම මත අද දිනයේ දී කපිල අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.
ඔහු සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඔහුග් සමීපතමයින් කීප දෙනෙක් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මුල් කරගත් නීති උපදේශන සැසියක් පැවැත්වූයේය. එහිදී නීතිඥ මතය වූයේ කපිල චන්ද්‍රසේන මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.
අද උදෑසන 7:30 ට පමණ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු කපිල නැවතී සිටි නිවසට පැමිණ ඇත්තේ අද දිනට නියමිතව තිබූ අධිකරණ වාරයක් සම්බන්ධයෙන් ඔහු දැනුවත් කිරීම සඳහාය. එහිදී කාමරයේ දොර වසා තිබීම හේතුවෙන් නීතිඥවරයා සහ නිවසේ කාන්තාව එක්ව අමතර යතුරක් භාවිත කර දොර විවෘත කළ අවස්ථාවේදී මියගොස් සිටි කපිල චන්ද්‍රසේන සොයාගෙන තිබේ.
මරණයේ ස්වභාවය සහ පොලිස් සැකය
දේහය හමුවන අවස්ථාවේදී රෙදි පටියක කොටසක් මියගිය පුද්ගලයාගේ ගෙල වටා තිබී ඇති අතර, එම පටියේ අනෙක් කොටස කාමරයේ දොරේ ගැටගසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිරුරේ හිස කොටස පුටුවක් මත තබා තිබූ කුෂන් එකක් මත රැඳී තිබී ඇත. සිරුරේ පහළ කොටස බිම ස්පර්ශ වන ආකාරයෙන් තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මරණය ගෙල වැලලාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළද, කොල්ලුපිටිය පොලිසිය විසින් මෙය “සැකකටයුතු මරණයක්” ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අධිකරණ නියෝග සහ වෛද්‍ය පරීක්ෂණ
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නියෝග ලබා දුන්නේය. ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා විසින් පත් කරනු ලබන පස් දෙනකුගෙන් යුත් විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් මගින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. මේ වන විට දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
විමර්ශන කණ්ඩායම් සහ නීතිමය පසුබිම
මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. කපිල චන්ද්‍රසේනට එරෙහිව පවතින අල්ලස් චෝදනා සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීම සඳහා මැයි 07 වැනිදා සන්ධ්‍යාවේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ මගපෙන්වීම යටතේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඊට ඔහු සහභාගී නොවී ඔහුගේ සමීපතම ඥාතීන් පිරිසක් සහභාගී වී තිබේ. පොලිසිය දැනට විමර්ශනය කරමින් පවතින්නේ මෙම මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් ඊට වෙනත් කිසියම් අපරාධමය සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳවයි.







