බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව රැගෙන පැමිණි විශ්වාසභංග යෝජනාව විපක්ෂය රැගෙන ආවේ එය පරාජය වන බව දැනගෙන බැවින්, මින් නොනැවතී ලංකාවේ විශාලතම ටෙන්ඩරයේ දූෂණයක් වී ඇත්නම් ඒ සම්බන්ධව අධිකරණය ඉදිරියට යනු ඇතැයි ආණ්ඩු පක්ෂය ලෙස තමන් බලාපොරොත්තු වන බව සභානායක බිමල් රත්නායක අද (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
සැකයක් පවතී නම් විපක්ෂය ලෙස අනිවාර්යයෙන්ම එය කළ යුතු දෙයක් බව ද සභානායකවරයා කීවේය. එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ විශ්වාසභංගයෙන් අනතුරුව සමස්ත ගල් අඟුරු ගනුදෙනුවට අදාළ සියලුම නැව් පිළිබඳ ගනුදෙනු සිදු වූ ආකාරය සොයා බැලීම වෙනුවෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.
සභානායකවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මේ විශ්වාසභංගයෙන් පස්සේ ගරු ජනාධිපතිතුමා විසින් පත් කරනවා විශේෂ කොමිෂන් සභාවක්. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්. එහි විශේෂත්වය තමයි ඒකට පත් වෙන්නේ දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු. 2010 සිට නැව් 456ක් ගෙනත් තියෙනවා. 443ක්ම ගෙනත් තියෙන්නෙ ඔයගොල්ලෝ. අපේ කාලේ ගෙනත් තියෙන්නෙ නැව් 13යි. අපි මේ ඔක්කොම ගැන විමර්ශනයක් කරලා බලමු. වැරදිකරු වුණොත් ඔයගොල්ලෝ හිරේ යන්න ලෑස්ති වෙන්න.”
“අපේ ඇමතිවරයා වැරදිකරු වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. එතුමා වැරදිකරු වුණොත් එතුමා හිරේ යයි. ඔබතුමාලා වැරදිකරුවෝ වුණොත් ඔබතුමාලා සිරගත වේවි. ජනවරමට දීලා තියෙන විශ්වාසය එක වචනයකින් පලුදු කරන්නේ නෑ. දැන් මේ හරහා ඇති වී තිබෙන සැකය ජනතාවගෙන් දුරු කරන්න තමයි විශේෂ විමර්ශන කොමිෂන් සභාව දාන්නේ.”







