බස්නාහිර පළාතේ සිට කිසියම් කොරෝනා ආසාදිත තැනැත්තෙකු වෙනත් පළාතකට සංක්‍රමණය වීම වැළැක්වීමේ අරමුණ සහිතව බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 ක දී අද සිට අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
ඉකුත් සතියේ ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ යටතේ අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළේ කොළඹ සිට නුවර, මීගමුව, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රධාන මාර්ග කේන්ද්‍ර කරගනිමින් පමණක් වුවද අද සිට මෙම පරීක්ෂණ තවත් පුළුල් කිරීමට තීන්දු කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
කොවිඩ් වැඩි වශයෙන් පැතිරී ගිය කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවය කරන පිරිස් උත්සව සමයත් සමග ගම් බිම් කරා යැවීමේ වැඩ පිළිවෙළක් එම කර්මාන්තශාලා හා එක්ව නිරෝධායන ක්‍රමවේදයකට අනුව සැලසුම් කර තිබුණත් එය ප්‍රායෝගික නොවූ බව මේ අතර ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පැවසුවේය.
කටුනායක පොලිසියේ මැදිහත් වීමෙන් ඊයේ සිට දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබිණි.







