ශ්‍රීමතී විජේරත්න –
අඹන්පොළ, කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයේදී ගම් වැදුන දළ ඇතකු එල්ල කළ දරුණු ප්‍රහාරයකින් බැඳ සිටි කිරි ගවයින් අට දෙනෙකු මියගොස් තවත් ගවයකු බරපතල තුවාල ලබා ඇති බව අඹන්පොළ පොලිසිය පවසයි.
මෙම ඇත් ප්‍රහාරය ඊයේ (28) සෙනසුරාදා අලුයම සිදුව තිබේ . අඹන්පොළ කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශය දිනපතා වන අලි රංචු ගැවසෙන කලාපයක් වන අතර, වගාවන්ට, නිවාසවලට මෙන්ම මිනිස් ජීවිතවලට ද වන අලි නිසා නිතර හානි සිදුවෙමින් ඇත.
අඹන්පොළ බැලුන්ගල පදිංචි ඩබ්.එම්. ඉසුරු සංජීව වීරසිංහ සහ පී.එම්. සජිත් තෙන්නකෝන් යන අයට අයත් කිරි ගවයින් 17 දෙනෙකු එම ඉඩමේ බැඳ සිට ඇත. ඇතා පහර දීමට උත්සාහ කරන අවස්ථාවේදී ගවයින් දස දෙනෙකු බැඳ සිටි ලණු කඩාගෙන දිවගොස් දිවි බේරාගෙන තිබේ. කෙසේ වෙතත්, ලණු කඩා ගැනීමට නොහැකි වූ ගවයින් අට දෙනෙක් දළවලින් ඇන සහ හොඬින් පහර දී මෙම දළ ඇතා විසින් ඝාතනය සිදු කර ඇත. අනෙක් ගවයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ඇත.
මෙම අවස්ථාවේ දුටු අතිශය සංවේදී දසුන වූයේ මරා දැමූ ගවයින් ලඟට පැමිණි දිවි බේරාගත් ගවයින් දැඩි සංවේගයෙන් හැසිරෙන අන්දමය. මේ එම අවස්ථාවය.
මෙම ප්‍රහාරය හේතුවෙන් ගව හිමිකරුවන්ට රුපියල් ලක්ෂ තිහකට අධික අලාභයක් සිදුව ඇති බව ගණන් බලා තිබේ. සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න අද එම ප්‍රදේශයට පැමිණියේය.
අඹන්පොළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් සැරයන් (48126) සී.එම්.ඩී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති







