පෙබරවාරි 24 වන දින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද 2026 වසරේ ‘රාජ්‍ය දේශනය’ (State of the Union address) පැයයි විනාඩි 48ක පමණ කාලයක් පුරා පැවැත්වෙමින් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබේ.
මීට පෙර 2000 වසරේදී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් තබා තිබූ පැයයි විනාඩි 28ක වාර්තාව අභිබවා යමින්, මෙය ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය දේශනය ලෙස සටහන් විය.
ආර්ථිකය, තීරුබදු සහ විදේශ ප්‍රතිපත්ති වැනි ප්‍රධාන මාතෘකා රැසක් ස්පර්ශ කළ මෙම දේශනය කෙරෙහි ලෝක ප්‍රකට මාධ්‍ය ආයතන රැසක අවධානය යොමු වී තිබුණි. පොදුවේ ජාත්‍යන්තර මාධ්‍ය පවා විශේෂයෙන් අවධාරණය කළේ ධ්‍රැවීකරණය වූ දේශපාලන පසුබිමක ට්‍රම්ප් විසින් සිය බලය පෙන්වීමට යොදාගත් මෙම අසම්මත දීර්ඝ කාලසීමාව පිළිබඳවය.
ඇමරිකානු මාධ්‍ය ආයතන මෙම කතාවේ දීර්ඝ කතා කාලය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි. NPR පුවත් සේවය පෙන්වා දුන්නේ මෙය වසර 60කට පසු කොංග්‍රසයේ ඒකාබද්ධ සැසියකදී පැවැත්වූ දීර්ඝතම දේශනය බවයි. The Washington Post පුවත්පතට අනුව ට්‍රම්ප් මෙහිදී අභිබවා ගොස් ඇත්තේ 2025 වසරේ ඔහු විසින්ම තබා තිබූ වාර්තාවයි. Politico සහ ABC News ද මෙහි කාලසීමාව අවධාරණය කළ අතර, උද්ධමනය සහ ආගමන විගමන ගැටලු සම්බන්ධයෙන් පවතින මහජන විවේචන මධ්‍යයේ ට්‍රම්ප් සිය දීර්ඝ දේශනය සිදු කළ බව ABC News වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර මාධ්‍ය ද මෙම සිදුවීම වාර්තා කළේ කතාවේ දීර්ඝත්වය සහ එහි අන්තර්ගතය එකිනෙකට සම්බන්ධ කරමිනි. ඕස්ට්‍රේලියාවේ 7NEWS වාර්තා කළේ ට්‍රම්ප් සිය දේශනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවලංගු කරන ලද තීරුබදු සහ ඉරානය සමඟ ඇති විය හැකි යුදමය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ බවයි.
බ්‍රිතාන්‍යයේ BBC පුවත් සේවය සඳහන් කළේ මෙය වාර්තාගත දීර්ඝතම කතාව බවත්, දේශපාලන බෙදීම් මධ්‍යයේ වුවද ඇමරිකාවේ “ස්වර්ණමය යුගයක්” උදාවී ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයත් ය.
The Hill සහ Fox වැනි කොන්සර්වේටිව් නැඹුරුවක් සහිත මාධ්‍ය මෙම වාර්තාගත දේශනය ඇගයීමට ලක් කළ අතර, PBS නාලිකාව හිටපු ජනාධිපතිවරුන් වන ඔබාමා සහ බයිඩන්ගේ කෙටි දේශන සමඟ සසඳමින් ට්‍රම්ප්ගේ කථන විලාසය විශ්ලේෂණය කළේය.
කෙසේ වෙතත්, Notus වැනි මාධ්‍ය ආයතන පෙන්වා දුන්නේ ට්‍රම්ප් සිය කතාව අතරතුර විරුද්ධ පක්ෂය දැඩි ලෙස විවේචනය කිරීම රාජ්‍ය දේශනයක පැවති යුතු ගුණාත්මක හරය ව්‍යසනයට ලක් කළ බවය.
මෙම දීර්ඝ දේශනය හුදෙක් වාර්තාවකට පමණක් සීමා නොවූ අතර, එහි අන්තර්ගතය තුළ වූ ඇතැම් ලක්ෂණ බොහෝ විචාරකයන් දුටුවේ යම් විකාරරූපී ස්වභාවයක් හෝ ප්‍රහසනයක ස්වරූපයක් ගත්තක් ලෙසයි.
විශේෂයෙන්ම රාජ්‍ය දේශනයක් වැනි ගම්භීර අවස්ථාවක විරුද්ධ පාක්ෂිකයන් “පිස්සන්” ලෙස හඳුන්වමින් සිදුකළ ආක්‍රමණශීලී ප්‍රකාශ, රම්ප් අභ්‍යන්තරයෙන් අත්විඳින දේශපාලන පීඩනයේ ප්රකාශනයක් ලෙස බොහෝ විචාරකයෝ අර්ථකථනය කළහ.
රටේ උද්ධමනය සහ ආගමන විගමන ගැටලු සම්බන්ධයෙන් මහජන අප්‍රසාදය දැඩිව පවතින පසුබිමක, ඔහු “ස්වර්ණමය යුගයක්” ගැන කළ අතිශයෝක්ති පූර්ණ ප්‍රකාශයන් යථාර්ථයෙන් බැහැර වූවක් බව ABC News වැනි මාධ්‍ය පෙන්වා දෙයි. මෙම අසම්මත දීර්ඝත්වය සහ ඔහුගේ කථන විලාසය තුළින් පෙනී යන්නේ, තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීමට වඩා, තමා වටා පවතින අභියෝග හමුවේ සිය ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට දරන දැඩි උත්සාහයක නිරත වන බව යැයි ගෝලීය දේශපාලන විචාරකයින්ගේ අදහසය.







