-
වත්මන් ගල් අඟුරු අර්බුදය සම්බන්ධව ප්‍රවීන මාධ්‍යවේදිනී නාමිනී විජේදාස විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත සපයා තිබුණු ගවේෂණාත්මක ලිපියෙහි සිංහල අනුවාදයක් මෙසේ පළ කරමු.
ලක්විජය ගල්අඟුරු බලාගාරය විසින් නිකුත් කරනු ලබන මෙහෙයුම් දත්ත මගින් තවදුරටත් අනාවරණය වන්නේ, ඉන්දියාවේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar Ltd) සමාගම හරහා නවතම ටෙන්ඩරය යටතේ මිලදී ගෙන මෙරටට ලැබුණු දකුණු අප්‍රිකානු ගල්අඟුරු නැව් තොගවලින් බහුතරයක්, බලාගාරයේ භාවිතය සඳහාවන අවම නිර්ණායක පවා සපුරාලීමට අපොහොසත් වී ඇති බවය.
නමුත් මෙම දත්ත සහ ‘කොටෙක්නා’ (Cotecna) ආයතනයේ වාර්තා අතර පරස්පරතාවක් පවතී. (කොටෙක්නා යනු නොරොච්චෝල ගොඩබෑම් වරායේදී සාම්පල ලබාගන්නා ස්වාධීන රසායනාගාරයයි). ඔවුන්ගේ වාර්තා පෙන්වා දෙන්නේ අළු ප්‍රමාණය සහ දළ කැලරි වටිනාකම (Gross calorific value) ඇතුළු අවශ්‍ය සියලුම පරාමිතීන් නිසි පරිදි සපුරා ඇති බවය.
මෙම ගල්අඟුරු බාල ප්‍රමිතියෙන් යුක්ත බවට පිළිගත් ස්වාධීන රසායනාගාරයකින් තහවුරු කිරීමකින් තොරව, ලංකා ගල්අඟුරු සමාගමට (LCC) සැපයුම්කරුගෙන් දඩ මුදල් අය කිරීමට හැකියාවක් නැත. කෙසේ වෙතත්, “තුන්වන විනිසුරුවරයෙකු” (Third umpire) පත් කිරීමට ගිවිසුමේ ප්‍රතිපාදන ඇතත්, ලංකා ගල්අඟුරු සමාගම හෝ බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් එය සිදු කර නොමැත.
තුන්වන පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂණ නොකරන්නේ ඇයි?
මිලදී ගැනීමේ ගිවිසුමට අනුව, පටවන වරායේදී (Load port) සාම්පල පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන පරීක්ෂකයෙකු පත් කිරීමට සැපයුම්කරුට අයිතියක් ඇත. එම ආයතනයේ පිළිගැනීම අදාළ රටේ සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සහතික කළ යුතුය.
මෙම අවස්ථාවේදී සැපයුම්කරු වන්නේ ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ වන අතර පටවන වරාය දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ ගල්අඟුරු පර්යන්තය (RBCT) වේ. ට්‍රයිඩන්ට් සමාගම විසින් යෝජනා කරන ලද රසායනාගාර තුනෙන් දෙකක්ම ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, ඉතිරි වූයේ ‘මිත්‍රා එස්.කේ. සවුත් ඇෆ්රිකා’ (Mitra SK South Africa (Pty) Ltd) ආයතනය පමණි.
නමුත් ‘මිත්‍රා එස්.කේ’ ආයතනය ජොහැනස්බර්ග් නුවර පිහිටා තිබුණද, ශ්‍රී ලංකාවට එවන සෑම නැව් තොගයකම සාම්පල පරීක්ෂාව සඳහා එතැන් සිට ඉන්දුනීසියාවේ පිහිටි ඔවුන්ගේ රසායනාගාරය වෙත යවා ඇත. ක්ෂේත්රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙය වහාම අවධානය යොමු කළ යුතු කරුණක් බවය.
“පැටවීම් සිදු කරන්නේ රිචඩ්ස් බේ ගල්අඟුරු පර්යන්තයේදී නම්, සැපයුම්කරු ඉන්දුනීසියාවේ රසායනාගාර වාර්තාවක් ඉදිරිපත් කරන්නේ ඇයි?” යැයි නිල මූලාශ්‍රයක් ප්‍රශ්න කළේය. “රිචඩ්ස් බේ පර්යන්තයේ එස්.ජී.එස් ( SGS), බියුරෝ වෙරිටාස් ( Bureau Veritas), ඉන්ටර්ටෙක් (Intertek) වැනි විශාල ගෝලීය රසායනාගාර තිබියදී මෙය සියයට සියයක්ම එහිදීම සිදු කළ යුතුව තිබුණා.”
මීට අමතරව, නොරොච්චෝල ජැටිය හෙවත් ගොඩබෑම් වරායේ ඇති රසායනාගාරය තෝරාගනු ලබන්නේ ගැනුම්කරු වන ලංකා ගල්අඟුරු සමාගම විසිනි. එම ආයතනය ‘කොටෙක්නා’ (Cotecna) වේ. එහිදී සාම්පල පරීක්ෂා කිරීම සඳහා කොටෙක්නා ආයතනයෙන් බැහැරව වෙනත් ස්වාධීන පාර්ශවයක් සම්බන්ධ කර ගැනීමට ප්‍රතිපාදන නොමැත.

කෙසේ වෙතත්, පටවන වරායේදී (මෙම අවස්ථාවේදී දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ ගල්අඟුරු පර්යන්තය පර්යන්තය) ලබා ගන්නා ගල්අඟුරු සාම්පල කොටස් දෙකකට බෙදිය යුතු බව ගිවිසුමේ සඳහන් වේ. ඉන් එක් කොටසක් ස්වාධීන පරීක්ෂකයාගේ විශ්ලේෂණය සඳහා යොදා ගන්නා අතර, අනෙක් කොටස සෑම නෞකාවකම පටවන ලද දිනයේ (Bill of lading) සිට දින 90 කට නොඅඩු කාලයක් “නිසි ලෙස ලේබල් කර, සීල් තබන ලද වාතය කාන්දු නොවන සුදුසු භාජනයක” තැන්පත් කර තැබිය යුතුය. ගිවිසුම මගින් මෙය “දෙවන කොටස” (2nd Part) ලෙස හඳුන්වයි
පටවන වරායේදී සිදු කෙරෙන මෙම සාම්පල ලබා ගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා, සැපයුම්කරුට ද පිළිගත හැකි වෙනත් ස්වාධීන පරීක්ෂකයෙකු පත් කිරීමට ගැනුම්කරුට එනම් ලංකා ගල් අඟුරු සමාගමට අවස්ථාව ඇත. එමෙන්ම, පටවන වරායේදී සිදු කෙරෙන සාම්පල ලබා ගැනීම සහ විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා ගැනුම්කරුගේ බලයලත් නියෝජිතයන් දෙදෙනෙකුට අවසර දිය යුතු අතර, සෑම නැව් තොග පහකට වරක් පමණ අහඹු ලෙස සිදු කෙරෙන මෙම සංචාර සඳහා සැපයුම්කරු විසින් පහසුකම් සැලසිය යුතුය.

“තවද, අවශ්‍ය අවස්ථාවලදී පටවන වරායේදී ගැනුම්කරු විසින් පත් කරනු පිළිගත් ස්වාධීන පරීක්ෂකයෙකු ලවා අහඹු ලෙස දෙවන සාම්පලය (2nd Part) පරීක්ෂාවට ලක් කළ යුතු අතර, සැපයුම්කරු විසින් එම ක්‍රියාවලියට පහසුකම් සැලසිය යුතුය.”
ලංකා ගල්අඟුරු සමාගම (LCC) හෝ බලශක්ති අමාත්‍යාංශය මෙම වගන්තිය ක්‍රියාත්මක කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැත. එමෙන්ම දින 90 ක කාලය ඉක්මවූ පසු, එම දෙවන සාම්පලය තවදුරටත් පරීක්ෂණ සඳහා යොදාගත නොහැකිය.
“අපි සැපයුම්කරුට මුදල් ගෙවනවා; බලාගාරය පවසන්නේ බාල ගල්අඟුරු ලැබෙන බවයි; බාල ගල්අඟුරු දහනය වෙමින් පවතිනවා; මේ ආකාරයේ විවිධ දේ කියැවෙනවා, ප්‍රකාශ නිකුත් වෙනවා, නමුත් කිසිවෙක් කිසිවක් දන්නේ නැහැ,” යැයි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ හුරුපුරුදු මූලාශ්‍රයක් පැවසීය.
“මීට ඇති සරලම විසඳුම වන්නේ තුන්වන බේරුම්කරුවෙකු පත් කිරීමයි. අප ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුයි. නමුත් අප එසේ නොකරන්නේ ඇයි?”
ගෙවීම්වලින් සියයට අසූවක්ම – එනම් මුදලින් වැඩි කොටසක් – නිදහස් කරනු ලබන්නේ පටවන වරායේ සහතිකය මත පදනම්වය. “නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ගල්අඟුරු පිළිබඳ චෝදනා එල්ල වෙමින් පවතින පසුබිමක, තුන්වන බේරුම්කරුවෙකු පත් කිරීම අත්‍යවශ්‍යයි,” යැයි ඔහු අවධාරණය කළේය.
තැතිගන්වන සුළු නව තොරතුරු
යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවකින් මෙම ගල්අඟුරු සම්බන්ධයෙන් තවත් කනස්සල්ලට පත්විය හැකි තොරතුරු අනාවරණය වී ඇත.
‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත එම ලේඛනයේ පිටපතක් ලබා ගත්තේය. ලක්විජය බලාගාරයේ දත්ත මගින් මීට පෙර පෙන්වා දුන්නේ, පළමු, දෙවන සහ තෙවන ගල්අඟුරු නැව් තොගවල දළ කැලරි වටිනාකම (Gross Calorific Values – GCV) – එනම් දහනයේදී නිකුත් වන තාප ප්‍රමාණය – බලාගාරයේ ඒකක තුනෙන් උපරිම විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය අවම මට්ටමට වඩා අඩු බවය. ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තාවට අනුව හතරවන, පස්වන සහ හයවන නැව් තොග ද එම නිර්ණායකය සපුරාලීමට අසමත් වී ඇත.
එමෙන්ම සියලුම තොගවල අළු ප්‍රමාණය (Ash content) ද පිළිගත හැකි මට්ටමට වඩා ඉහළ අගයක් ගනී. මෙම පරාමිතීන් අසමත් වීම හේතුවෙන් එම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කිරීමටත්, සැපයුම්කරුට දඩ නියම කිරීමටත් අවස්ථාව පවතී. එහෙත් ඒ සඳහා අදාළ ප්‍රතිඵල පිළිගත් රසායනාගාරයකින් ලබාගත යුතු වුවද, ලක්විජය බලාගාරය සතුව එවැනි පිළිගත් රසායනාගාරයක් නොමැත.
කෙසේ වෙතත්, ලක්විජය බලාගාරය විසින් ගල්අඟුරු භාවිත වන වේගය, විදුලි උත්පාදනය සහ අනෙකුත් මෙහෙයුම් අංශ පිළිබඳ තත්කාලීන දත්ත (Real-time data) වාර්තා කරනු ලබයි. ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කළ නවතම වාර්තාවේදී විදුලිබල මණ්ඩලය මෙම තත්කාලීන දත්ත භාවිතා කරමින් දළ කැලරි වටිනාකම (GCV) ‘ප්‍රතිලෝමව ගණනය’ (Reverse calculate) කර ඇත.
විදුලි බලාගාරවල ගල්අඟුරු වල දළ කැලරි වටිනාකම් අගය ප්‍රතිලෝමව ගණනය කිරීම යනු වාෂ්ප නිමැවුම ඉන්ධන පරිභෝජනය සහ බොයිලේරු කාර්යක්ෂමතාව වැනි සැබෑ මෙහෙයුම් දත්ත මත පදනම්ව ඉන්ධනවල අඩංගු ශක්ති ප්‍රමාණය ඇස්තමේන්තු කරන ක්රමයකි. එය මූලික වශයෙන් සිදු කරනු ලබන්නේ සැපයුම්කරුගේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට හෝ දෛනික කාර්යසාධනය ගණනය කිරීමට මිස රසායනාගාර විශ්ලේෂණය මතම යැපීමට නොවේ.
මෙම ගණනය කිරීම් මත පදනම්ව, විදුලිබල මණ්ඩල වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකාවෙන් ලැබුණු ගල්අඟුරු නැව් තොග හයෙන් කිසිවක් දළ කැලරි වටිනාකම සඳහාවන අවම නිර්ණායකය වන කිලෝග්රෑමයකට කිලෝ කැලරි 5,900 සපුරා නොමැති බවය. කෙසේ වෙතත්, එම ගණනය කිරීම්ම භාවිතා කරමින් පරීක්ෂා කිරීමේදී, පෙර සැපයුම්කරුගෙන් (රුසියානු මූලාශ්රිත) ලැබුණු ගල්අඟුරු වල දළ කැලරි වටිනාකම 6,200 ට වඩා වැඩි බව පෙන්නුම් කරයි.
ලංකා ගල්අඟුරු සමාගම අපේක්ෂා කරන දළ කැලරි වටිනාකම් අගය 5,900 සහ 6,150 අතර විය යුතුය. ප්‍රතිලෝම ගණනය කිරීම් අනුව ලබා ගත් ඉහළම අගය වන්නේ හතරවන නැව් තොගයෙන් ලක්විජය 3 වන ඒකකය මගින් වාර්තා කළ දළ කැලරි වටිනාකම 5,757 අගයයි. අඩුම අගය වන්නේ තෙවන නැව් තොගයෙන් (1 වන ඒකකය මගින්) වාර්තා වූ දළ කැලරි වටිනාකම් අගය 5,102 අගයයි.
විදුලිබල ක්ෂේත්රයේ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ මෙහෙයුම් දත්ත බලාගාර පරිගණක පද්ධතියේ වාර්තා වන බැවින්, එවැනි ක්‍රමවේදයක් මත පදනම් වූ ගණනය කිරීම් මගින් සැබෑ කැලරි වටිනාකම පිළිබඳ වඩාත් නිවැරදි ඇඟවීමක් ලැබෙනු ඇති බවය.

ගෙවන්නේ කවුද?
විදුලිබල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා ආංශික අධීක්ෂණ කාරක සභාවට තවත් වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එහි පිටපතක් ද ‘සන්ඩේ ටයිම්ස්’ වෙත ලැබී ඇත. එහි “විදුලි උත්පාදනය හේතුවෙන් සිදුවූ ඇස්තමේන්තුගත සෘජු පාඩුව “ රුපියල් මිලියන ” යනුවෙන් වගුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව පළමු නැව් තොග අටෙන් පමණක් විදුලිබල මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 7.9 කි. සැපයුම්කරුගෙන් අය කර ගත යුතු දඩ මුදල මෙම ගණනය කිරීමට ඇතුළත් කර නොමැති බව එහි සඳහන් වේ.
එහි “සටහන්” යටතේ දැක්වෙන්නේ, “වඩාත්ම අයහපත් තත්ත්වය (Worst-case scenario) සලකා බලමින් මෙම පිරිවැය ඇස්තමේන්තු කර ඇති අතර, මෙම ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය නිසා ඇති වන බලශක්ති හිඟය පියවා ගැනීම සඳහා කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයෙන් ඒකකයකට රුපියල් 57.53 බැගින් විදුලිය ලබා ගැනීමට සිදුවීම පාඩුව ලෙස සලකා ඇත,” යනුවෙනි.
වෙනත් වචනවලින් කිවහොත්, ලක්විජය බලාගාරයේ බාල ගල්අඟුරු දහනය කිරීම නිසා ඇති වූ උත්පාදන පරතරය පියවා ගැනීමට, කැලණිතිස්ස බලාගාරයෙන් වැඩි පිරිවැයක් දරා විදුලිය මිලදී ගැනීම නිසා දැරීමට සිදු වූ අමතර වියදම මෙයට ඇතුළත් වේ.
එම ලැයිස්තුවට අනුව, ලක්විජය බලාගාරය සහ ‘කොටෙක්නා’ (Cotecna) යන ආයතන දෙකම අසමත් බව තහවුරු කළ පළමු නැව් තොගයෙන් සිදු වූ පාඩුව රුපියල් මිලියන 595 කි. නමුත් දෙවන නැව් තොගයේ සිට ඉතිරි නැව් හය සඳහා ඊට වඩා විශාල පාඩුවක් පෙන්වන අතර, ඉන් අඩුම පාඩුව රුපියල් මිලියන 865 කි. නැව් තොග හතරක් සඳහා පාඩුව රුපියල් බිලියන 1 ඉක්මවයි.
විදුලිබල මණ්ඩලය විසින් මෙම ගල්අඟුරු නැව් තොග හය කෙටි කාලයක් සඳහා භාවිතා කළ දින වකවානු සහ ඒවා කුමන ඒකක සඳහා භාවිතා කළේද යන්න ද පෙන්වා දී ඇති බැවින් මෙය වඩාත් වැදගත් වේ. බොහෝ නැව් තොගවලට එක් ඒකකයකින් මෙගාවොට් 300 ක උපරිම උත්පාදනයක් අඛණ්ඩව ලබා දීමට නොහැකි වී ඇත.
ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාලගෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත. එවැනි වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති අතර, කාරක සභාවේ වෙනත් ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) නිලධාරීන් පසුගිය බ්‍රහස්පතින්දා ලක්විජය බලාගාරයේ නිරීක්ෂණයක නිරත විය.
ඔවුන්ගේ වාර්තාව ද මෙතෙක් නිකුත් වී නොමැති අතර එය අපේක්ෂිත මට්ටමේ පවතී.







