මහනුවර අසේල කුරුළුවංශ –
වර්ජන ක්‍රියාමාර්ග දිනෙන් දින උග්‍ර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවත් ඇත්තෙන්ම සිදුවන්නේ එය දිනෙන් දින දියාරු වීම බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක වන්නේ රෝහල්වල නොව පත්තර පිටුවල හා රූපවාහිනි නාළිකා අතර පමණක් යැයිද ඔහු පවසයි.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මෙසේද පැවසුවේය.
“වෛද්‍යවරුන්ට තිබෙන ගැටලු වෛද්‍යවරුන්ගේ ගැටලු ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට තිබෙන දේශපාලන ගැටලු දේශපාලන ගැටලු ලෙසත් හඳුනා ගැනීම සඳහා වන දේශපාලන පරිචය ආණ්ඩුවට තිබෙනවා. වර්ජන ක්‍රියාමාර්ගය දිනෙන් දින උග්‍ර වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවත් ඇත්තෙන්ම සිදුවන්නේ එය දිනෙන් දින දියාරු වීමයි. “
“වෛද්‍ය නිලධාරීන්ට තිබෙන ගැටලු අපිට විසඳන්න පුළුවන්. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන ගැටලු විසඳන්න අපිට බැහැ. මොකද ඔවුන්ට තිබෙන්නේ දේශපාලන ගැටලුවක්. “
“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ දේශපාලන සංවිධානයක් විදිහටයි. ආණ්ඩුවක් ලෙස අපි ඔවුන්ගේ ප්‍රශ්නවලට කොයිතරම් සංවේදිව උත්තර දුන්නද කොයිතරම් ඒ ගැටලු විසඳන්න උත්සහා කළාද කියන එක ජාතික ජනබලවේගය රට පාලනය කළ මාස 14 ක කාලය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්න පුළුවන්. “
“වෛද්‍යවරුන්ට ගැටලු තිබෙන බව අපි පිළිගන්නවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් වෘත්තිකයින්ටත් ගැටලු තිබෙනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ඒ නිසා වෛද්‍යවරුන්ට තිබෙන ගැටලු වෛද්‍යවරුන්ගේ ගැටලු ලෙස හඳුනා ගන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන දේශපාලන ගැටලු දේශපාලන ගැටලු විදිහට හඳුනා ගන්නත් ආණ්ඩුව ලෙස අපිට ඉව සහ ශක්තිය තිබෙනවා.”







