රජය පාර්ලිමේන්තුව තුළ සහ පාර්ලිමේන්තුවෙන් පිටත ලබා දුන් පොරොන්දු ප්‍රකාරව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සලසා දී නැතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (26) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා අනාවරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ මේ ඉදිරිපත් කරන්නේ විවේචනයක් නොවන බවත් රජයට සංඛ්‍යාලේඛන සම්බන්ධව කරන දැනුම්වත් කිරීමක් බවත්ය.
මහනුවර දිස්ත්‍රික්කයේ බලපෑම්වලට ලක් වූ 57804ක් සිටින බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මේ මුළු සංඛ්‍යාවටම පොරොන්දු වුන විසි පන්දහස ලැබිය යුතු බව පෙන්වා දුන්නේය. නමුත් එම මූලික ආධාරය ලැබී ඇත්තේ පවුල් 32172කට පමණක් බව හිටපු ඇමතිවරයා අනාවරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ එම විසි පන් දහසේ මූලික සහනාධාරය පවා මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 23000කට ආසන්න ප්‍රමාණයකට ලැබී නැති බවය.
මුළුතැන්ගෙයි බඩු මිලදී ගැනීම සඳහා ලබා දෙන බව කී රුපියල් 50000ක මුදල මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙකුට ලැබී නැති බවත් පාසල් දරුවන්ට ලබා දෙන බව කී රුපියල් විසි පන්දහසක මුදල ද ලැබී නැති බවත් හිටපු ඇමතිවරයා අනාවරණය කළේය.
මරණයකට ලක්ෂයක වන්දියක් ලබා දෙන බව කීව ද සමහර අවස්ථාවල දී එම මුදල රුපියල් 50000ට අඩු වී ඇති බව ද හෙතෙම කීවේය.
මේ මා කතා කරන්නේ නවතම දත්ත මත පදනම්ව. මහනුවර දිස්ත්‍රික්කයේ තවමත් අනාථ කඳවුරු 95ක් තියනවා. ඒ කඳවුරුවල පවුල් 2084ක් ජීවත් වෙනවා. පුද්ගලයින් ගත්තොත් 6636ක් ඉන්නවා. මේ අය බොහෝ වෙලාවට ඉන්නේ ආගමික ස්ථානවල. මේ අයට කඳවුරුවලින් යන්න කියනවා. යන්න කිව්වට යන්න තැනක් නෑ. ගෙවල් විනාශ වෙලා”
” මට පසුගිය සතිය පුරාම දුරකථන පණිවුඩ ආවා. . අඩුම තරමින් යන්න තැනක් නැති අයට කූඩාරම් ටිකක් දෙන්න බැරිද වගේ අදහසක් මට තිබෙන්නේ. මැදපෙරදිග ලක්ෂ ගණන් පිටවී යනවා අවතැන් වෙලා. එහෙම ගියාම ගියාම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තාවකාලිකව ඉන්න පහසුකම් සපයනවා කූඩාරම්වල. මෙහෙව විකල්පයකට හෝ අපට ගන්න බැරිද කියන අදහසක් තියනවා. ”
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විවිධ පොරොන්දු රජය ලබා දුන්නත් මේ පිරිස්වල අනාගතය කුමක් විය හැකිද යන්නය. මේ වනවිට කන්ද උඩරට ජනතාවම කබලෙන් ලිපට වැටී ඇති බව කී හිටපු ඇමතිවරයා ගොඩනැගිලි පර්යේෂණ ආයතනනය මුලු කන්ද උඩරටම රතු පැහැයෙන් ලකුණු කර ඇති ආකාරය ගැන කීවේය. මෙය විය නොහැකි දෙයක් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධව පැහැදිලි කරගැනීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සම්බන්ධ කරගැනීමට ගත් කිසිම උත්සාහයක් සාර්ථ නොවුන බව පැවසුවේය.
කන්ද උඩරට ජනතාව ජීවත් වීම සඳහා පොළොන්නරුවට යෑමට සූදානම් නැති බවත් දළදා වහන්සේ ආරක්ෂා කරගත් ජනතාව කන්ද උඩරට ජීවත් විය යුතු බවත් පැවසුවේය.







