ශ්‍රියානි විජේසිංහ –
පසුගිය කාලය තුළ ඖෂධ ආනයනය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමග අත්සන් කළ ගිවිසුම් දෙකක් ප්‍රශ්න කරමින් එම ගිවිසුම් දෙක තුළ තිබෙන අන්තර්ගතයන් මොනවාද යන්න පිලිබඳව වහාම රටට හෙලිකරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
ගිවිසුම් තුළ පතින අන්ර්ගතයන් මොනවාද යන්න අත්සන් කළ අයවත් දැනුවත්ද යන්න ගැටලුවක් බවත් හිතුමතේට රට තුළට ඖෂධ ගෙන ඒමේ හැකියාවක් නොමැති බවත් මෙරටට ගෙන එන ඖෂධයන් නිසි ප්‍රමිතියෙන් යුක්ත විය යුතු බවත් පෙන්වාදෙන සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ තවදුරටත් පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් ප්රවීනතා දැනුමක් ඇති විශේෂඥයින් සමඟ සාකච්ඡා කළ යුතු බවය.
මහාබ්‍රිතාන්‍ය , ඇමරිකානු මෙන් ප්‍රමිතිගත ආයතන ඉන්දියාව තුළත් තිබෙන නමුත් ප්‍රමිතියෙන් බාල ඖෂධ නිවෙස්වලත් නිෂ්පාදනය කරන ආයතනයන් තිබිය හැකි යැයි හෙතෙම පවසා සිටියි.
වසර 2023දී මෙරටට පැමිණි ඖෂධ කෙසේ ආවේද යන්න අදටත් ගැටලුවක් යැයිද මෙරටට පැමිණි ඉමියුනිග්ලොබින් ඖෂධය මෙන්ම ඇස්ප්රීන්වල ඇස්ප්‍රීන් ඖෂධය නොතිබුණ බවත් මෙට්ෆොමීන් ඖෂධය තුළ මෙට්ෆොමීන් නොතිබුණ බවත් වෛද්‍ය විජේසිංහ පැවසුවේය.
නව ගිවිසුම් හරහා රටට එන ඖෂධවල ප්‍රමිතියේ ගැටලුවක් තියෙනවාද යන්න සාකච්ඡාවට ලක්විය යුතු බවත් ඒ හරහා ගිවිසුම්වල අන්තර්ගත කරුණු ජනගත විය යුතු බවත් හෙතෙම පෙන්වාදේ.
ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා ලෝකයේම පිලිගත් ක්‍රමවේදයක් තිබෙන බවත් මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුකූලව ස්ථාපිත කරන ලද තත්ත්ව රසායනාගාර විද්‍යාගාරයක් අවශ්‍යය වුවද එවැන්නක් රටතුළ නොමැති බවත් හෙතෙම පවසා සිටියි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව රසායනාගාරයක් තිබෙන නමුත් එය වසර 30ට වැඩි කාලයකින් යාවත්කාලීන කර නොමැති අතර පරික්ෂා කිරීම් කළ හැක්කේද සීමා සහිත ප්‍රමාණයක් යැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ආණ්ඩුවේ ජනාධිපති කවුද?, සෞඛ්‍ය ඇමති කවුද මොන පාටද යන්න ප්‍රශ්නයක් නොමැති බවත් ඕනෑම ත්ත්තවයක් යටතේ කොන්දේසි විරහිතව නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවක් බැදී සිටින බවත් පෙන්වාදෙන මාධ්‍ය ප්‍රකාශකවරයා එයට සහය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඕනෑම මොහොතකදී සුදානමින් සිටින බවද ආණ්ඩුවෙන් එය ඉටු නොවන්නේ නම් එයට එරෙහිව නැගී සිටීමටද කටයුතු කරන බවද පවසයි.







