-
කොලොන්නාවේ ප්‍රාදේශීය ලේකම් තුමා, ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය… ගෙදර සම්පූර්ණයෙන්ම යට වෙලා දවස් ගණනක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිදියාගෙන අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කළේ.
විපක්ෂයේ සීමිත මන්ත්‍රීවරුන් පිරිසක් රටේ යහපත වෙනුවෙන් වැඩ කරමින් සිටින නමුත් යම් කල්ලියක් සිදු මළ ගෙදර බූරු ගහන්නට සූදානම්වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව තුළ කොළොන්නාව පිළිබඳ අමූලික බොරු ප්‍රකාශ කරමින් අද හැසිරුනේ ඒ බූරු ගැසීමට සූදානමින් සිටි සෙට් එකේ කෙනෙක් බවය.
ඔහු කොලොන්නාවේ කතාව පාර්ලිමේන්තුවට කීවේ මෙසේය.
“විපක්ෂයේ කණ්ඩායම් කීපයක් හිටියා මේ වනාශ වෙද්දි, මේ මළ ගෙය වෙද්දි, මළගෙදර ඇතුළෙ බූරු සූදානමින් හිටිය සෙට් එකක් හිටියා. ඒ අය තමයි මේ කරුණු දක්වමින් සිටින්නේ. එය අප පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා.
අද දවස ඇතුළෙත් අප දැක්කා කුණු පිළිබඳව කොළොන්නාව පිළිබඳව පට්ටපල් බොරු ටිකක් ඉදිරිපත් කරනවා. ඒ මහත්තුරු මොනවද පහුගිය කාලේ ගිහින් කළේ. මේ ගංවතුරෙ ඇතුළෙ දේශපාලනය කරන්න හැදුවා.
ඒ විතරක් නෙමෙයි කොලොන්නාව ප්‍රදේශය ගත්තොත් එහෙම අපි දන්නවා කොලොන්නාව ප්‍රදේශයේ බරපතල අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් තිබෙනවා. කවුද කළේ. මේ මහත්තුරු කළේ. අපි ගිහින් ඒ ප්‍රජාව නගර සභාවල හිටපු පිරිස් ඒ ගෙවල් සුද්ද කරන්න යද්දි රාවය යවනවා, ප්‍රචාරය යවනවා ගෙවල් කඩන්න එන්නේ කියලා. එහෙම බාල දේශපාලනය කරන්නේ.
කැලණි ගඟේ කෙළවර තමයි කොලොන්නාව කියන්නේ. කුණු ටොන් ගත්තොත් පහළොස් දාහක් විසි දාහක් තියනවා. ඒ කුණු ටික අදිද්දි තාවකාලිකව ස්ථානවල අපට ඩම්ප් කරන්න සිද්ධ වෙලා තියනවා. ඒ ඩම්ප් කරද්දි මිනිස්සුන්ව කුලප්පු කරනවා අන්න උඹලගේ ගේ ඉස්සරහ කුණු පටවන්න යනවා කියලා. එහෙම කට්ටිය මේ.
මේක කියන්න නෙමෙයි හිටියෙ. මීට පෙරත් කෑ ගහද්දි සද්ද නැතිව හිටියා එහෙම කියන්න ඕන නැති හින්දා. නමුත් මේ දිගින් දිගටම බොරු සමාජ ගත කරමින් මහන්සියෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරින් අපහසුවට පත්වන නිසාම තමයි මේ තොරතුරු ටික කියන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිපුරම ආපදාවට පත් වුනේ කොලොන්නාව කඩුවෙල සහ සීතාවක. පවුල් 86000ක් ආපදාවට ලක් වෙලා තියනවා. ලක්ෂ තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා තියනවා.
ඒ ජනගහණයෙන් තුනෙන් දෙකකට වඩා කොළොන්නාවේ. ගෙවල් පමණක් 55000කට වැඩි ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා තියනවා. ඒ නිසා ඒ ආසනය සඳහා දැන් සියලු දෙනා එක්ව මැදිහත් වෙමින් යනවා. අපි දන්නවා ඒක කාගෙවත් මැජික් එකක් නෙමෙයි. මිනිස්සු අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනකම තියෙන්නේ. හැබැයි අද මෙතන මොනවද කියන්නේ. මෙතන ඇවිත් පට්ට බොරු තොරතුරු ටිකක් කියනවා.
එක පැත්තකින් කියනවා බෝට්ටු තුනයි ලු ආණ්ඩුවෙන් දාලා තියෙන්නේ. එයා බෝට්ටු දෙකක් දැම්මලු. අපිට බෝට්ටු අපේ කියන්න අසනීපයක් නෑ. බෝට්ටු හැත්තෑ ගානක් වැඩ කළා. සාමාන්‍ය මිනිස්සු, ව්‍යාපාර කණ්ඩායම්, මෙතන ඉන්න සමහර මන්ත්‍රීවරු මැදිහත්වෙලා බෝට්ටු ගෙනාවා. ආණ්ඩුවෙන් විතරක් බෝට්ටු 30කට වැඩි ප්‍රමාණයක් දැම්මා.
අද මෙතන ඇවිත් කියනවා අර්ධ හානි තියෙන්නේ නිවාස 3000යි කියලා. ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් අද ගත්තු තොරතුරු අනුව 17052ක් අර්ධ හානි වෙච්චි නිවාස තියනවා. පූර්ණ හානි ගත්තොත් 130ක්. හැබැයි මෙතන ඇවිත් තියනවා අර්ධ හානි 3000යි කියලා. බලාගම්මු කියලා. මොනවද මේ දේශපාලනය. මළගෙවල් ඇතුලේ බූරු ගහන්න හදපු සෙට් මේවා.
අපි කවුරුත් ප්‍රාතිහාර්ය කරන මිනිස්සු නෙමෙයි. අපි සාමුහිකත්වය විශ්වාස කරන මිනිස්සු. මිනිස්සුන්ගේ බලය විශ්වාස කරන මිනිස්සු. අපට වෙන හොර ගේම් නෑ. අපට වෙන මානසිකත්ව නෑ. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩෙත් එක්ක පොරබදනවා.
ඔබ දන්නවා කොලොන්නාවේ ප්‍රාදේශීය ලේකම් තුමා, ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය… ගෙදර සම්පූර්ණයෙන්ම යට වෙලා දවස් ගණනක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිදියාගෙන අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කළේ.
කොලොන්නාවේ විතරක් ග්‍රාමසේවා වසම් 120කට වඩා නිලධාරීන් අමාරුවේ වැටිලා තියනවා. ඒ අය කිසිවක් ගණන් ගත්තේ නෑ වැඩ කරනවා. ලංකාවේම එහෙමයි. ඒ නිසා තමයි දවස් ගණන් සති ගණන්වලින් මේ ක්‍රියාවලිය යන්නේ.
කුණු ක්‍රියාවලිය ගැන කිව්වා. කොලොන්නාවේ අපි දන්න තොරතුරු අනුව කුණු ටොන් 15000ක 20000ක වැඩි ප්‍රමාණයක් තියනවා. දැන් අපි දින 14ක් පුරා අඛන්ඩව වැඩ කරනවා. අපේ සමහර විපක්ෂ මන්ත්‍රීවරු පවා දන්නවා. ඒ සමහර පක්ෂවල කට්ටිය අපට හම්බවෙනවා. වැඩ කරනවා. ඒක හොඳයි. අපටත් පාරෙදි හම්බවෙනවා. සහෝදරයා කියනවා. ඇමති තුමා කියනවා. වැඩ කරනවා. ඒක මරු. ඒ අය මේ වගේ මඩ ගහන වැඩ කරන්නේ නෑ.
දැන් අද ගත්තොත් සියයට 82කකට වැඩි ප්‍රමාණයක් කුණු අවසන් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ලබන ඉරිදා වෙද්දි ආපදාවෙන් ගොඩගැහුන කුණු සම්පූර්ණයෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපේ ප්‍රාතිහාර්යයක් නෙමෙයි. ඒක ස්වෙච්ඡා සංවිධාන ඇතුළු සියලු දෙනාගේ වැඩක්.
මේ වෙද්දි මේ දින 14 ඇතුළේ වාහන 100කට වඩා වැඩ කරනවා. ඒවා ප්‍රාදේශීය සභාවෙන් ගත්ත වාහන විතරක් නෙමෙයි. කොළඹ මහ නගර සභාව, වටේ තිබෙන නගර සභා මහ නගර සභා සියලු දෙනා ඇවිත් උදවු කරනවා. මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා. මම නම කිව්වෙ නැතත් මම දන්නවා විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුත් ඇවිත් කුණු අදිනවා… නියමයි. ඒක වෙන්න ඕන. කොලොන්නාවේ ඉඳන් අඹතලේට යද්දි දෙමටගොඩ ඉඳන් ඔරලෝසු කණුව ගාවට යද්දි, පරණ පාරෙ යද්දි කුණු නෑ… ඒවා එකතු කරලා තියෙන්නේ.
වෙන්නවත්ත ගත්තොත්, කිත්තන්පව්ව ගත්තොත්, මෙගොඩකොලොන්නාව ගත්තොත් ගාසා තීරය වගේ තිබුණේ. ඒවා මිනිස්සු සාමාන්‍ය ජනතාව එකතු වෙලා ඉවර කරලා තියෙන්නේ. ඒක අඩුම තරමින් අගයන්නේ නැතිව, අපි කියන්නේ ආණ්ඩුවට ක්‍රෙඩිට් දෙන්න නෙමෙයි. වැඩ කරන මිනිස්සු එතන ඉන්නේ. නිලධාරීන් ඉන්නේ. වෙන මොකක් හරි මානසිකත්වයක් පදනම් කරගෙන ඇවිත් තොරතුරු කියනවා.
ඒක වැරදියි. අපි සූදානමින් යන්නේ මේ ජනතාවත් එක්ක හරිදේ කරන්නේ කොහොමද කියන එක. ඒක නිසා තමයි අපි 25000ක් ජනතාවට ලබා දෙන්නේ. අපි දන්නවා ඒ ලබා දෙන්නේ අපේ මුදල් නෙමෙයි. මේ වියදම් කරන්නේ අවුරුද්දක් තිස්සේ දූෂණය වංචාව කරන්නේ නැතිව එකතු කරගත්ත මහජනතාවගේ බදු මුදල්. ඒ මුදල් තමයි අපි ජනාවට දෙන්නේ.
මේ වැඩේට නිලධාරීන් යන්න ඕන. යම් තක්සේරුවක් කරන්න ඕන. මෙතැනදි නිලධාරීනුත් යම් අපහසුතාවයකට පත් වෙලා තියනවා. කොලොන්නාවේ විතරක් ගෙවල් 55000කට යන්න ඕන. ඒ යන්න අපහසුතාවයක් තියන නිසා අග්‍රාමාත්‍යතුමියත් මැදිහත් වෙලා ඒකට අතිරේක නිලධාරීන් පිරිසක් යොදවලා තියනවා. දැන් වැඩේ යනවා. අපි හිතනවා ලබන සිකුරාදා වගේ වෙද්දි මේ විසි පන්දහසේ ක්‍රියාවලිය අවසන් කරන්න පුලුවන් වේවි කියලා.
ඒ විරක් නෙමෙයි. අපිට දැන් යම් සැලසුමක ඉන්නවා. විශේෂයෙන්ම මේ ආපදාව වෙන්න පෙරත් අපේ අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාවේ ගංවතුර පාලනය පිළිබඳවත්, කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලනයත් පිළිබඳව යම් තීරණ ප්‍රමාණයක් අරන් තියනවා. ”
නියෝජ්‍ය ඇමතිවරයා කීවේ ගංවතුර පාලනය සඳහා නිශ්චිත සැලසුමක් අනුව සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරමින් පන්දහසක් පමණ පවුල් ප්‍රමාණයක් නැවත පදිංචිකරවමින් විපක්ෂයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමග එක්ව ස්ථිරසාර විසඳුමක් කොලොන්නාවට ලබා දෙන බවය.







