අසේල කුරුළුවංශ –
-
හන්තාන රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලලා පී.වී.සී නළ මගින් කිලෝ මීටරයක් පමණ පහළට ගෙනත් ස්වභාවික දිය පහරක් ලඟ කසිප්පු පෙරලා… පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ප්‍රවාහනය කරලා…
හන්තාන රක්ෂිත සීමාවේ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැටලූ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒ්කකයේ නිලධාරින් කණ්ඩායමක් ගෝඩා සහ කසිප්පු ස්ප්‍රීතු ලීටර් 16000 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගගුවට ගෙන තිබේ.
තළාතුඔය පොලිස් වසමේ උඩුවෙල පදිංචි සැකකරුවන් වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කසිප්පු නිෂ්පාදනය කර හන්තාන වතුයාය ඇතුළු ප්‍රදේශ ගණනාවකට බෙදාහැර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
හන්තාන රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලලා පී.වී.සී නළ මගින් කිලෝ මීටරයක් පමණ පහළට ඒ්වා රැගෙන විත් මැටි අඟුල ඇල මාර්ගයේ ස්වභාවික දිය පහර භාවිත කරමින් සැකකරුවන් කසිප්පු පෙරා තිබෙන බව පොලීසිය පවසයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමාර්ශන ඒ්කකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ජී වීරරත්න, උප පොලිස් පරික්ෂකවරුන් වන ධම්මික, ලාල් වික්‍රමරත්න,වීරසේකර, පොලිස් සැරයන්වරුන් වන 32874 ජයවර්ධන,32779 බාලසූරිය, 46971 පුෂ්පකුමාර යන නිලධාරීන් හන්තාන උඩවෙල මාර්ගයේ සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින්වූ දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් ගෙන සැකකරුවන් සමඟ නීති විරෝධී මත්පැන් තොගය සහ ඒ්වා පෙරීමට යොදාගත් උපකරණ පොලීසිය භාරයට ගෙන තිබේ.
රක්ෂිත සීමාවේ ගෝඩා බැරල් වලදමා පොළොව අභ්‍යන්තරයෙන් බට වලලා සැකකරුවන් කිසිවෙකුට හෝ ඇස නොගැසෙන පරිදි මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් කසිප්පු ස්ප්‍රීතු බෝතලයක් ඔවුන් රුපියල් 1500 කට අළෙවි කර තිබෙන බවත් පොලීසිය පවසයි.
පොදු මගී ප්‍රවාහන බස් රථ මගින් ද සැකකරුවන් මහනුවර නගරයට කිසිප්පු ප්‍රවාහනය කර තිබෙන බව පරීක්ෂණ මගින් හෛළිව තිබේ.







