මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බවට බන්ධනාගාර කොමසාරිස්වරයා කළ ප්‍රකාශයට ව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව සිය විරෝධය පළ කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තදබදයට මරණ දඬුවම විසඳුම නොවන බවය.
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පැවසුවේ මරණ දඬුවම දැනට ක්‍රියාත්මක නොකරන බවට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි බවයි.
මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බවට යෝජනා කළ බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන් 36,000 කට වැඩි පිරිසක් සිටින බවත් එය රඳවා ගත යුතු පිරිස මෙන් තුන් ගුණයක් බවත්ය.
රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වීමෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාර නිසි ලෙස පවත්වාගෙන යනු ඇතැයි හෝ රැඳවියන්ට යුක්තිය සහතික කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව නීතිඥවරයා ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවේ ඔහු මෙසේ පැවසුවේය.
“අපරාධකරුවන් ඉබේ බිහිවන්නේ නෑ…. ඔවුන් නිර්මාණය වන්නේ සමාජ අසමානතාවයන් නිසා… අපරාධවලින් තොර සමාජයක් සාක්ෂාත් කරගත හැක්කේ අපරාධ ඇති කරන තත්වයන් ඉවත් කිරීමෙන් පමණයි. මරණ දඬුවමට සහාය දෙන කෙනෙකු යටතේ බන්ධනාගාර පවත්වාගෙන යාම කිසි විටෙකත් පුනරුත්ථාපනයට උපකාරී වෙන්නෙ නෑ.”.. නීතිඥවරයා පැහැදිලි කළේය.
එවැනි අදහස් ඇති නිලධාරීන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැක්මට පටහැනිව ක්‍රියා කිරීමේ අවදානමක් ඇති බවත් සිරකරුවන් සමඟ වැඩ කිරීමට සුදුසු නොවන බවත් ඔහු පැවසීය.
“සිරකරුවන් ද මනුෂ්‍යයෝ ය” යන සටන් පාඨය යථාර්ථයක් බවට පත්විය හැක්කේ සිරකරුවන්ට යුක්තිය ප්‍රතික්ෂේප කරන ක්‍රියා නැවැත්වීමෙන් පමණක් බව නීතිඥ සේනක පෙරේරා තවදුරටත් පැවසීය.







