ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනයට පෙර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත් ඔහු අයි.ආර්සී අපරාධකරුවෙක් හෙවත් දිවයිනේ ලියාපදිංචි, රජයේ අපරාධ ලේඛනාගාරයේ ලියාපදිංචි අපරාධකරුවෙක් බැවින් ඔහුට ආරක්ෂාව සපයා දීමට වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතට අනුව පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලසන්ත වික්‍රමසූරිය ඝාතනයට එරෙහිව කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණි විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා දැඩිව ප්‍රශ්න කරමින් විමසා සිටියේ 2025.08.29 දින පොලිස්පතිවරයාට ලිපියක් ලියා ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් එය ලබා නොදීම නිසා ඔහුව ඝාතනය කිරීමට ඉඩ හැරිය බවය. ඔහු පැවසුවේ මිනීමරු ම්ලේච්ඡ සංස්කෘතියක් මේ රජය ක්‍රියාත්මක කරමින් සිටින බවය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති ප්‍රකාශ කළේ වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන්ට ඇති මරණ තර්ජන ගැන දන්වා පොලිස්පතිවරයාට යවා තිබූ ලිපිය නොසලකා හැරීමෙන් ඇති වූ මෙම ඝාතනය පිළිබඳ පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවය.
අයි.ආර්.සී කාරයින්ට ආරක්ෂාව සැපයීමට නීත්‍යානුකූල බලයක් පොලිසියට නැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේ ඒ අනුවය. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කතා කරමින් පෙන්වා දුන්නේ තුන් වතාවක් අත්හිටවූ සිර දඬුවම් විඳි මිදිගම ලසා අංක 1305/2015 යටතේ බී ශ්‍රේණියේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් බවය.







