දිනසේන රතුගමගේ –
අධිකරණයේ ඇති නඩු කීපයකින් ගැලවීම පිණිස මන්නාරමේ එමිල් නගරයේ වැසියෙකු මන්නාරමේ ධීවර තොටුපලකින් බෝට්ටුවක් හොරකම් කරගෙන ඊයේ (14 ) ඉන්දියාවේ තමිල්නාඩුවට පලාගොස් තිබේ.
මන්නාරමේ පනන්කොට්ටිකොට්ටු පාලම යට ධීවර තොටුපලේ නවතා තිබූ බෝට්ටුවක් හොරකම් කොට තමිල්නාඩුවට පලා ගිය පී.පලෙයියසාමී නැමති මේ පුද්ගලයා විසින් හොරකම් කරණ ලද බෝට්ටුව ඉන්දියාවේ තමිල්නාඩුවේ මණ්ඩපම් දිස්ත්‍රික්කයේ මරයික්කර්පට්ටිනම් වෙරළ අසල නවතා රටට ඇතුලු වී තිබේ.
නමුත් ඔහු සිටින ස්ථානයක් මෙතෙක් වාර්තා වී නොමැත.
පුද්ගලයෙකුට පහරදීම හොරකමක් සිදු කිරීම හා පවුලේ ආරවුලක් මත ඔහුට එරෙහිව මන්නාරම අධිකරණයේ නඩු කීපයක් ඇති අතර ඔහු ඒවායින් බේරීම පිණිස ඉන්දියාවට පලාගොස් තිබේ.
බෝට්ටුව අහිමි වූ පුද්ගලයා මන්නාරම පොලීසියට හා ධීවර පරීක්ෂක කාර්යාලයට තමන්ගේ බෝට්ටුව හොරකම් කරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කොට ඇති අතර ඔහු ප්‍රකාශ කොට ඇත්තේ තමන්ගේ ජීවිකාව කරගෙන යාම පිණිස තිබූ එකම මාර්ගය වූයේ මේ බෝට්ටු රස්සාව පමණක් බවයි.
එම බෝට්ට්ටුව අහිමි වී යාම නිසා පවුලේ ආර්ථිකය පවත්වා ගෙන යාමට නොහැකි බවත්, ඉන්දියාවේ දමා ගොස් ඇති ඔහුට අයත් ධීවර බෝට්ටුව කෙසේ හෝ රැගෙනවිත් දෙන ලෙසත් බෝට්ටුව අහිමි පුද්ගලයා ඉල්ලීමක් කොට තිබේ.
මන්නාරම පොලීසිය මේ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම්වත් කොට ඇති අතර තමිල්නාඩු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







