ශ්‍රියානි විජේසිංහ –
කළුතර ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ (Cath Lab) කටයුතු පසුගිය 03 වෙනිදා සිට නවතා දැමීම හේතුවෙන් හෘද රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් රෝගීන්ගෙ හෘදයට රුධිරය සපයන කිරීටෙක ධමනිවල පවතින අවහිරතා හඳුනාගැනීම, හෘද කපාටවල තිබෙන අවහිරතා හඳුනාා ගැනීම, සහ ඒවාට ප්‍රතිකාර කිරීම මුළුමනින්ම නතර කර දමා ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
සාමාන්‍යයෙන් මෙම ඒකකය වසරකදී රෝගීන් 3000කට වැඩි ප්‍රමාණයකට පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකළත් ගෙවුණු වසර තුළ ප්‍රතිකාර සිදු කර ඇත්තේ රෝගීන් 1000 ට ආසන්න ප්‍රමාණයක් බවත් එසේ සිදු වූයේ යන්ත්‍රය බිඳ වැටුණු අවස්ථාවන්වලදී නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දීර්ඝ කාලයන් ගතවීම හේතුවෙන් බවත් හෙතෙම පවසා සිටි
මේ වන විට එම රෝහලේ අන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණ සහ ස්ටෙන්ටින් ප්‍රතිකාර කටයුතු සඳහා පොරොත්තු ලේඛනය 2026 වසරේ ජුනි මාසය දක්වා දිගූ එකක් වී ඇත.
2021 ඔක්තෝබර් මාසයේදී කළුතර ශික්ෂණ රෝහලේ මෙම හෘදකැතීටර්කරන ඒකකය ස්ථාපනය කොට රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන ලදී.
එම යන්ත්‍රයේ වසර 3ක වගකීම් කාලය 2024 ඔක්තෝම්බර් මස 03 අවසන් වූ අතර මෙතෙක් එම යන්ත්‍රයේ සේවා ගිවිසුම් ගතවීම සිදුකොට නොමැති විමෙන් මෙම තත්තවය උද්ගත ඇතැයි හෙතෙම පැවසුවේය.
මේ හේතුවෙන් යන්ත්‍රයේ බිඳ වැටීම් සිදුවන අවස්ථාවන්වලදී යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ගිවිසුම් නොමැති වුවත් ගෙවුණු වසර තුළ අවස්ථා කීපයකදීම යන්ත්‍රය යථා තත්වයට පත් කර දී ඇති නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අදාල ගෙවීම් සිදුකර නොමැති බවද පැවසේ.
මේ හේතුවෙන් අදාල සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත් වී ඇත. මේ වන විට යන්ත්‍රය බිඳ වැටී ඇතත් සේවා ගිවිසුම් නොමැති වීම හේතුවෙන් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදුවී නොමැත.







