ජාලිය වීරක්කොඩි –
කැසිනෝ ගැන රෙදි කඩාගෙන කෙරෙන බෙරිහන් දීමක් ඇසේ. සංචාරක කර්මාන්තයේ ගෝලීය ප්රවණතා ග්‍රහණය කරගනිමින් ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතියක් ඇසුරෙහි අලුතින් නිර්මාණයවන කැසිනෝ ශාලාවක් පිළිබඳව ගොඩනැගෙන මේ සංවාදය ඇසූවන් එක්වරම කල්පනා කරන්නේ සූදු අන්තුවන් පෝලිමේ විත් දේශීය සංස්කෘතික කන්‍යාභාවය බිඳ දමා දැවැන්ත දූෂණයක් සඳහා මේ වනවිට පෙළ ගැසෙන බවය.
බොහෝ විට මේ කෑ ගහන උන් කැසිනෝ දන්නේත් නැත. සංචාරක ව්‍යාපාරය ගැන දන්නේත් නැත. රටේ නීතිය දන්නේත් නැත. සංස්කෘතිය හෝ සදාචාරය පිළිබඳ දන්නේත් නැත.
කැසිනෝ පිළිබඳ රටේ නීතිය
ශ්‍රී ලංකාවේ කැසිනෝ සූදුව පිළිබඳ නීතිමය නියාමනය දශක ගණනාවක් පුරා විකාශනය වී තිබේ. එහි ප්‍රධාන වර්ධනයන් 20 වන සියවසේ අගභාගයේදී ආරම්භ විය.
සූදුව මුලින් නියාමනය කරන ලද්දේ සූදු ආඥා පනත (1889) සහ පසුව 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ ය. මෙම කැසිනෝ ව්‍යාපාර නියාමන පනත කැසිනෝ සඳහා නවීන ව්‍යවස්ථාපිත රාමුවක් සකස් කළේය.
කැසිනෝ පනත 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා බදු පනතට නව අතිරේකයක් එක් කර තිබිණි. කැසිනෝ ව්‍යාපාර නියාමන පනත ආදායම් වාර්තා කරන පොත් තබන්නන්ගේත්, ක්‍රීඩා ව්‍යාපාර සඳහා බදු මෙන්ම ක්‍රීඩාව පවත්වා ගැනීමට අවශ්‍ය නීත්‍යානුකූල බලපත්රත් නියම කළේය.
කාලයත් සමඟ, ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා බදු පනත කිහිප වතාවක් සංශෝධනය වුනේය. විශේෂයෙන් 2005, 2006, 2013, 2015 සහ 2023 දී බදු අනුපාත සකස් කිරීම සඳහාය. කැසිනෝ පාලනය දැඩි කිරීම සඳහා ය.
2010 කැසිනෝ ව්‍යාපාර පනත
2010 කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත බලපත්‍ර ක්‍රියාවලීන් සහ ක්‍රියාකරු බැඳීම් විධිමත් කළේය. එය 2022 අංක 01 දරන රෙගුලාසිය වැනි රෙගුලාසිවලින් නීතිය භාණ්ඩාගාර රාමුව තුළ යාවත්කාලීන කිරීම්වලට භාජනය විය. වර්ෂ 2024 දී කැසිනෝවකට බලපත්‍ර ලබා දීම සහ අලුත් කිරීමේ ගාස්තු වසර 20 ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් පමණ දක්වා ඉහළ නංවන නව නීති සම්පාදනය විය.
2025 ප්‍රතිසංස්කරණය: ඒකාබද්ධ සූදු අධිකාරිය
කැසිනෝ සඳහා 2025 දී ප්‍රධාන නීතිමය ප්රතිසංස්කරණයක් සිදුවෙමින් පවතී. මෑතකදී ගැසට් කරන ලද සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත යටතේ නව සූදු නියාමන අධිකාරියක් නිර්මාණය වෙමින් ඇත. , එය අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර 2025 මැයි සහ ජුනි මාසවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
මෙම ප්‍රතිසංස්කරණයේ අරමුණ වන්නේ කැසිනෝ ව්‍යාපාර පනත, සූදු ආඥා පනත සහ අශ්ව රේස් සඳහා ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත ඇතුළු යල් පැන ගිය නීති අවලංගු කිරීම සහ සියලුම සූදු ක්‍රියාකාරකම් තනි, නවීන නියාමන ආයතනයක් යටතට ගෙන ඒමය.
එය භූමියේ පිහිටා ඇති කැසිනෝ ශාලා පමණක් නොව, මාර්ගගත ඔට්ටු ඇල්ලීම, වරාය ජලයේ නැව් තුළ පවත්වන සූදුව, සහ මෘදුකාංග සපයන්නන් ඇතුළු බද්දට වංගු ගසා සූදු කෙළින්නන් ආවරණය කරනු ඇත.
කැසිනෝ ක්‍රියාකරුවන් මුදල් විශුද්ධිකරණයට එකඟව කටයුතු කිරීම අනිවාර්ය වේ, ඔවුන් වගකිවයුතු ක්‍රීඩා ප්රමිතීන් දැඩි ලෙස සපුරාලිය යුතුව ඇත. මෙම නීති උල්ලංඝනය කිරීම් සඳහා දඬුවම් අතරට රුපියල් මිලියන 10 දක්වා දඩ, වසර දෙකක් දක්වා සිර දඬුවම්, බලපත්‍ර අත්හිටුවීම හෝ අසාදු ලේඛනගත කිරීම ඇතුළත් වේ
වත්මන් නීතිමය තත්ත්වය
ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා බදු පනත (එහි 2023 සංශෝධන සමඟ) සහ 2010 කැසිනෝ ව්‍යාපාර පනත යන පනත්, නව සූදු නියාමන අධිකාරී පනත බලාත්මක වන තෙක් බලාත්මකව පවතී. එමෙන්ම බලපත්‍ර ගාස්තු ද ඉහළ මට්ටමක පවතී, ප්‍රවේශ බදු සහ බදු ක්‍රියාත්මක වේ. නීතියෙන් නියම කර ඇති පරිදි ක්‍රියාකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.
කැසිනෝ සම්බන්ධ කතාවට මුල්වන නීති පදනම් ගොඩනැගෙන්නේ එසේය. එසේ නම් මුලින්ම කිව යුත්තේ එය නීත්‍යානුකූල පදනමක් සහිත සූදු ක්‍රීඩාවක් බවය. එය ලෝකයේ බිලියනපතීන් ආකර්ශනය කරන ඔවුන්ගේ ආශ්වාදය වෙනුවෙන් විශාල අවකාශයක් සපයන ක්‍රීඩාවක් බවය. අන්තර්ජාතික තලයේ කැසිනෝ ශාලාවක් සහිත ඒකාබද්ධ අධි සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක් නිර්මාණය වන්නේ මේ කියවන ඔබට හෝ මට නොවේ. ඩොල්ර් මිලියන ගණන් වියදම් කළ හැකි විදේශික ධන කුවේරයන් සඳහාය.
කැසිනෝ ඇති CITY OF DREAM SRI LANKA කුමක් ද?
CITY OF DREAM SRI LANKA ලෙස එළිදකින්නේ සංචාරක ව්‍යාපාරයෙන් ගොඩයන්නට හදන රටක ඉදිවී ඇති අභිලාෂකාමී ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකි. එහි අපේක්ෂාව සංචාරක ව්‍යාපාරය හරහා වූ පරිවර්තනීය ආර්ථික වෙනසකි. මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (MICE) සහ හොංකොං මුල් කරගත් ඒකාබද්ධ නිවාඩු නිකේතන පහසුකම් සංවර්ධකයෙක් මෙන්ම විශේෂඥයෙක් වූ මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) සමඟ හවුල්කාරිත්වයෙන් යුතුව මේ ගොඩනගන්නේ හුදු සංචාරක හෝටලයක් නොවේ. නිවාඩු නිකේතනයක් හා බැඳුන විනෝදාස්වාදය, කලාව, සංස්කෘතිය වින්දනය ඇතුළු පුළුල් ප්‍රවේශයක් සහිත අන්තර්ජාතික තලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
ආසියානු කලාපය තුළ මේ ආකාරයෙන් ගොඩනැගෙන ප්‍රධානම එකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය මෙයය. අප සිංගප්පූරවත් පසුකරගෙන පැමිණ ඇත. සංචාරක ක්ෂේත්රයේ මෙවැනි විශාල ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘති ආයෝජනයක් ජපානයට නැත., ඉන්දියාව ඇතුළු ක්ෂේත්රයේ තරගකරුවන් සිටින්නේත් ගොඩනැගෙන අවස්ථාවට වඩා පහලිනි.
ෙඑහි අති සුඛෝපභෝගී හෝටල් කාමර 113ක් සහිත නිකේතනය Nuwa සන්නාමය යටතේ හඳුන්වා දෙන්නේය. කාමර 687ක් ‘‘සිනමන් ලයිෆ්’’ සන්නාමය යටතේ දැනටමත් විවෘත කර ඇත්තේය. 2024 ඔක්තෝම්බර් මාසයේදී CinnamonLife හෝටලය විවෘත වුනේය. Nuwa සහ CinnamonLife හෝටල් දෙක සහිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය තුළ කාමර සහ නිවාස සහිත සම්පූර්ණ නවාතැන් ඒකක ප්‍රමාණය 800කි.
සංවාද ඉපදවූ කැසිනෝව
මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියේ නවීනතම පන්නයේ කැසිනෝ ශාලාවක් සහ විනෝදාස්වාදන කලාපයක් මේ ඒකාබද්ධ නිවාඩු නිකේතනය තුළ පවතී.
මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් වසර 20 ක ක්‍රීඩා බලපත්‍රයක් ලබාගෙන ගොඩනගන අන්තර්ජාතික තලයේ කැසිනෝ ශාලාවට ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් පමණ ආයෝජනය කර ඇත. එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 200-250 ක දළ ක්‍රීඩා ආදායමක් අපේක්ෂා කරයි.
ක්‍රීඩා ආදායම මත 45%ක පමණ ඉහළ බදුකරණයක් වේ. වංගු නොගසන්නේ නම් එම ඍජු ආදායමේ ප්‍රතිලාභය භාණ්ඩාගාරය හරහා රටේ ජනතාවටය.
අප දන්නා ආකාරයට මේ සමස්ථ ක්‍රියාවලිය ගොඩනැගෙන්නේ රටේ නීතියට අනුබද්ධවය. සංචාරක ව්‍යාපාරය හා බද්ධ වුන කැසිනෝ ශාලාවත් ඒ පොදු නීතියට යත්ව ක්‍රියාත්මක වන්නේය.
තේරෙන ආකාරයෙන් පැහැදිලි කළහොත් මේ කැසිනෝව විවෘත වන්නේ ගමේ බූරු ගහන කට්ටියට නීත්‍යානුකූලව සූදු කෙළින්නට අවසර දීම සඳහා නොවේ. වඩාත් වැඩි ඩොලර් ප්‍රමාණයක් දිනකට වියදම් කළ හැකි විදේශිකයින් රටට ගෙන්වා ගෙන කොතැනක හෝ වියදම් කිරීමට නියමිත එම ඩොලර් ප්‍රමාණය රට තුළ වියදම් කරවීමේ ආර්ථික අභිලාෂය සහිතවය.
රටක් ලෙස මෙවැනි අභිලාෂකාමී ව්‍යාපෘතිවල අවශ්‍යතාවය කුමක් දැයි අප පුරවැසියන් ලෙස අවබෝධ කරගැනීම වැදගත්ය. සංචාරක ව්‍යාපාරයෙන් රටක් ලෙස 2018 වසරේ දී අප ලැබු ආදායම 8 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.6 කි. එහෙත් පාස්කු ප්‍රහාරයත් ඉන් පසු කාලයේ දී ඇති වූ ගෝලිය වසංගත තත්ත්වයත් නිසා 2022 වනවිට සංචාරක ව්‍යාපාරයෙන් ජාතිය ලද වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.26 දක්වා පහත වැටුනේය.
සංචාරක ව්‍යාපාරයෙන් 2024 දී රට ලැබු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.17 කි. එය පවතින්නේ 2018 තත්ත්වයට වඩා බොහෝ පහළිනි. සංචාරක ව්‍යාපාරය ඩොලර් උපයන ප්‍රධානම ප්‍රවේශය ලෙස අප තෝරාගෙන ඇතිනම් අද අප සිටින්නේ අලුත් දැක්මකින්, අලුත් ආකාර්ශනීය ප්රවේශයකින් නිර්මාණාත්මකව අලුතින් නැගී සිටිය යුතු මොහොතකය.
අප බංකොලොත් වී කුල්ල කුජීත වුන ජාතියකි. එවන් ජාතියක් සංචාරක ව්‍යාපාරය ස්වකීය ප්රමුඛ විදේශ විනියම උත්පාදන ප්‍රවේශය ලෙස නම් කරගෙන ඇත. එහෙත් ඒ සඳහා ගොලීය ප්‍රවේශයක් සඳහා සැරසෙන මොහොතක ඇසෙන්නේ ලොවෙත් නැති කණවැන්දුම් කතාය.
සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” හෝ මැලේසියාවේ “මැකාවු හි කොටයි තීරය”ට වඩා සුපිරි සංචාරක ගමනාන්තයක් කොළඹ වෙරළ තීරයේ මැවෙන බවට පුරෝකථන තිබේ. සිංග්ප්පූරුව හා මැලේසියාව සමග තරඟ කළ හැකි විභවයක් කොළඹ නිර්මාණයවනු ඇති බවට අනුමාන තිබේ. සිංගප්පූරුවේ “මරීනා බේ සෑන්ඩ්ස්” හෝ මැලේසියාවේ “මැකාවු හි කොටයි තීරය” එම රටවල් ආර්ථිකය බලගන්වන බලයකින්ම CITY OF DREAMS SRI LANKA ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරක් තියනු ඇති බවය.
සිහින දැකීම අත් හළ මිනිස්සුන්ට දැන් දකින්නට සිහිනයක් ඇත. නමුත් ඒ සැබෑවට ප්‍රවේශ වීම සඳහා රටක් ලෙස අපේ චින්තන අවකාශය පුළුල් කරගැනීම කළ යුතුය. ඉන් පසු බොහෝ ගැටලු නිරාකරණය වනු ඇත.







