ශ්‍රීමතී විජේරත්න –
මහව, ගල්ගමුව, අඹන්පොල පැත්තේ මිනිස්සු ජීවත් වන්නේත් වන අලි ගැටුම මැදය. හේනක් කුඹුරක් බේරා ගැනීමට තබා දරුවෙක් පාසලට යවන්නටවත් නොහැකි තරමට ඒ ගැටුම ඇවිලී ඇත්තේය. අවුරුද්දේ වාර්තා අරන් බැලුවහොත් වැඩිම වන අලි මැරී වැටෙන වන අලින් විසින් මිනිසුන් මරා දමන මහා බිහිසුණු ව්‍යසනයේ මුල් ඇවරියේ ගල්ගමුව පැත්තත් තියෙන්නේය. තමන්ගේ ජීවින වෘත්තිය මෙන්ම ජීවිතයත් ව්‍යසනයකට ඇද දමන වන අලි නිසා මිනිස්සු විඳින දෝමනස්සයන් තේරුම් ගන්නට අර්බුදයේ ගැඹුර ප්‍රායෝගිකව අත් විඳිය යුතුය.
ඒත් මිනිස්සු මහා පුදුමය. ජීවිත අවදානමක් සහිතව යන්තම් ජීවිතය ගැට ගසා ගැනීම සඳහා වන අලි සමග ගැටි ගැටී ජීවත්වන මිනිස්සුන්ගේ අධ්‍යාත්මය මොනතරම් ගැඹුරුදැයි දුටුවෙමි. ගෙදර පොඩි එකා ආපදාවට ලක්වූ ආකාරයෙන් මේ වනවිට ගල්ගමුව අවට ගම්වල මිනිස්සු වැටී සිටින භාතිය ඇතා බේරා ගන්නට රොද බැඳගෙන සිටිති.
අවුරුදු 30 -35ක් පමණ වයස භාතිය ඉදිරිපස දකුණු පාදයේ ආබාධ සහිතව රෝගී වී වතුර වළක වැටී දිවි ගෙවන්නේ මැයි මස 19 වෙනිදා සිටය. ඇතා බේරා ගැන්නීමට වනජීවි නිලධාරීන්ටත් පශු වෛද්‍යවරුන්ටත් අප්‍රමාණ සහයෝගයක් ලබා දෙන්නේ තුන්සිය හැටපස් දවසේම වන අලින්ගෙන් බැට කන ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවය. ඒ කැපවීම ඇහැට කඳුළු උනන්නේය.
අද දින ( 6) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල, ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර වෛද්‍ය තරිඳු විජේකෝන්
ඇතුලු පිරිසක් පැමිණ භාතිය පරීක්ෂාවට ලක් කළහ. මේ වනවිට ඇතාට අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදු කර යථා තත්ත්වය ට පත් කර ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කෙරෙමින් පවතී.
මේ වන විටත් බලල්ල යුද හමුදා කඳවුරේ පිරිස සහ එක් වූ ප්‍රදේශවාසීන් එක්ව ඇතා වැටී සිටින වලේ වතුර ඉසිමිනි. ඇතාට ආහාර පාන ලබාදෙමිනි. මිනිස්සු ඇතාට අවශ්‍ය පහසුකම් සැපයීමට කැප වී ඇති ආකාරය පැමිණ දෑසින් බැලිය යුතුය. අපට පෙනෙන්නේ භාතිය වෙනුවෙන් ආරක්ෂාව අයදින මිනිස්සුය. සෙත් ශාන්ති කරන මිනිස්සුය. ඒ සතාගේ ජීවිතය වෙනුවෙන් යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සුය.
මීට පෙර වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද් ඇතුළු කාර්ය මණ්ඩලය මගින් ඇතා ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට උත්සාහ දැරූහ.
ඊයේ දිනයේ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ප්‍රනාන්දු ඇතාගේ තත්ත්වය සොයා බැලීමට එම ස්ථානයට පැමිණියෝය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසු වෛද්‍ය අංශයේ වෛද්‍යවරු කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇතාගේ රුධිල සාම්පල රැගෙන විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ ඇරඹූහ.
සියල්ලන්ගේම ප්‍රාර්ථනාව භාතිය නැගී සිටීමය. යළි මේ වන දහනේ සක්මන් කරනු දැකීමය. ඒ සියල්ලන්ටම වඩා හදවත උද්දීපනය කරන්නේ මේ ගැමියන්ගේ අධ්‍යාත්මය තුළ ගැබ්වුන මහා ගැඹුර එළි දැකීමය. එය පමණක්ම සෑහෙන්නේය.







