ලොකු කුමා විසිනි –
පළාත් පාලන මැතිවරණය අවසන්වී හරියට මූණ කට හෝදාගන්නවත් ඉඩක් ලැබෙන තරමේ දවස් ගානක් ගෙවී ගියේ නැත. දැන් ආරවුල සභාපති උප සභාපති කම ගන්ටය. පුංචි ඡන්දයට තරග කර එක මැම්බර් කමක් හෝ හිමි කර ගත් පක්ෂ නායකයන්ද දැන් ඉන්නේ මහේශාක්‍ය වෙසක් අරගෙනය. අර මොකද්දෝ එක කහ ගන්නට නිය පොත්ත නැති වුන් පවා ඒ එක මැම්බර් කම නිසා ප්රජාතන්ත්රවාදය, ජනතා ජයග්‍රහණය ආදී මහප්පරාණ දේශපාලන වාක්‍ය කියව කියවා ආණ්ඩුවට චැලෙන්ජ් කරන තරමට චණ්ඩි වී සිටී.
තමන්ට හරියට දිනා ගන්නට බැරිවුන ප්‍රාදේශීය සභා හා නගර සභා පිහිටුවීමේදී මාලිමාව ඉන්නේ උණු නිසා බොන්නටත් බැරි කිරි නිසා අහක දාන්ටත් බැරි අදහසකය. කපුටු ගූත් බෙහෙත් වලට ඕනෑ වෙන බව අපේ පරණ උන්දැලා කියා ඇත්තේ කට කහනවාට නොවේ.කට පරිස්සම් කර නොගැනීමත් වරදකි. ඒත් තවමත් ආණ්ඩුව හිතා ගෙන ඉන්නේ අපට බලය තියෙනවා ඒ නිසා අපට ඕනෑම කෙහුරක් කරන්නට පුළුවන්ය යන කුඩුකේඩු විශ්වාසයෙනි.
දේශපාලන හයිරන්කාරකමට වැඩි ආයුෂ නැත. මේ රටේ දේශපාලන භූමියේ මහසෝන් පාට් දැමූ සිරා පොරවල් පවා බාල්දු වී ගිය හැටි ඉතිහාසයේ ලියවී තිබේ. දේශපාලන බලය සමග පවතින කෙරුම්කාර කම බලය අහිමි වීමත් සමගම නෝන්ඩි වෙන බව කවුරු කවුරුත් හිතේ කෙළවරක හෝ තියා ගැනීමෙන් කවදා හරි දුකක් කණගාටුවක් ඇතිවීම වලක්වා ගන්ටත් පුළුවන.
ආණ්ඩුව හා විපක්ෂය අතර සභාවල බලය ගැනීම සඳහා පවතින කුකුළු පොරය ගැන අපට නම් දැනෙන්නේ ලැජ්ජාවකි .හිරිකිතයකි. මේ තරම් ඇණ කොටා ගනිමින් මහජනතාවට සේවය කරන්නට දත් මිටි කන්නේ මන්දැයි නැවත නැවතත් සිතිය යුතු තරම්ය. ඡන්දයෙන් බලය නොලැබුණ සභාවල බලය මොන කෙං ගෙඩියකින් හෝ ලබා ගත යුතුය යන අදහසේ ඉන්නා මාලිමාවුන් “එනු දුෂ්ඨයා ගනු කඩුව” යන නාඩගම් සම්ප්රදාය සිහිපත් කරවයි.
එහෙත් එහිදී විපක්ෂයේ හංවඩු පෝරිසාද මැම්බර්ලා මාලිමාවුන්ට සපෝට් කරන්නේ නම් පැටිකිරිය අදාල නොවෙන තරමට වැඩේ සීරියස් වී තිබේ. ඒත් ෂෝට් කට් වලින් සභාවල බලය උදුරාගන්නවාට ඒ චැලෙන්ජ් අත් හැර දැමීම නම්බුකාරය. මේ ලියන්නට හදන කතාව අතීතයේදී මේ රටේ පැවැති දේශපාලනයේ නම්බුකාරකම සිහිපත් කරවන්නකි.
මේ සිද්ධිය සිඳු වූයේ 1950 වසරේදීය. මේ වර්ෂයේදී බලපිටිය ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට යෙදුනි. ඒ අතුරු මැතිවරණයට අලියා ලකුණින් ඉයන් ද සොයිසාද යතුර ලකුණින් වොල්වින් සිල්වාද තරග වැදුනහ. යතුර ලකුණින් තරග වැදුන වොල්වින් සිල්වා යනු රාජනීතිඥ කොල්වින් ආර් ද සිල්වාගේ වැඩිමහල් සහෝදරයාය. මේ අතුරු මැතිවරණය පැවැත්වෙන අවධියේ ගාල්ල මහ දිසාපතිවරයා ලෙස කටයුතු කෙරුවේ එම්.තේ.ටී සැන්ඩිස්ය. ඔහු මෙරට වාසය කළ ඉංග්‍රීසි ජාතිකයෙකි.
බලපිටිය අම්බලන්ගොඩ බහු ආසනයේ ආසනයේ අතුරු මැතිවරණයේ ඡන්ද ගණන් කෙරුවේ ගාල්ල කච්චේරියේදීය. මේ ඡන්ද ගනිමින් සිටි ලිපිකරුවෙකුට අමුතු ආකාරයකට කැමැත්ත ලකුණු කළ ඡන්ද පත්‍රිකාවක් දැක ගත හැකි විය. එහි කතිරය සටහන් කරන කොටුවේ කතිරය වෙනුවට යතුරක් ඇඳ තිබිණි. මේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් තේරීම් භාර නිළධාරියාගේ අදහස විමසන ලදී. එහිදී එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සඳහන් කෙරිණි. මේ අවස්ථාවේ එතැන සිටි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ඉයන් ද සොයිසා ඒ ඡන්ද පත්‍රිකාව බලා ඒ ගැන ඔහුගේ අදහස පළ කෙරුවේය.
මේ මනුස්සයා වොල්වින්ට හැබෑවටම ආදරය කරන කෙනෙක්. ඒකනේ මෙච්චර මහන්සියෙන් යතුරක් ඇඳල තියෙන්නෙ. ඒ ඡන්දය වොල්වින්ට දෙන්න
ඉයන් ද සොයිසා පැවසීය .එහෙත් මේ කලබගෑනිය අස්සේ ඒ වන විට එම ස්ථානයේ නොසිටි වොල්වින්ද සිල්වා එහි පැමිණියේය. තේරීම් භාර නිළධාරී එම්.කේ.ටී.එස් සැන්ඩිස් එම ඡන්ද පත්‍රිකාව ඔහුට පෙන්වා ඒ ගැන ඉයන් ද සොයිසාගේ අදහසද ඔහුට කීවේය.
“ඉයන්ට පිස්සු .මේක නරක් වෙච්චි ඡන්දයක්. මේ ඡන්දෙ දමන්න නරක් වෙච්චි ගොඩට”
වොල්වින් ගේ තීරණය විය.
නරක් වු ඡන්දයක් තම ප්‍රතිවාදියාගේ ගොඩට එකතු කළ යුතු බවට අපේක්ෂකයකු ඉල්ලන විට තමන්ට ලැබෙන්නට ගිය ඡන්දය නරක් වූ ඡන්දයක් යැයි ප්‍රතික්ෂේප කරන අපේක්ෂකයන් සිටියේද වර්තමානයේදී නොසන්ඩාල විදියට බලය ගැනීමට කකුල් මාට්ටු දාන දේශපාලන කෙරුවාවන් ගැන ප්රවෘත්ති ඇසෙන්නේ මේ රටේමය.
1950 මැයි 20 වනදා බලපිටිය /අම්බලන්ගොඩ බහු ආසනයේ අතුරු මැතිරණයේ ප්රතිඵළය මෙසේ විය.
ඩබ්.වොල්වින් ද සිල්වා (ස්වාධීන/යතුර) 23558
ඉයන් ද සොයිසා (එ.ජා.ප) 21590
ජේ.සුමනසේන (ස්වාධීන සමාජවාදී පක්ෂය) 1429
එස්.ඩී.එස්.ගුණතිලක ස්වාධීන 600
මුළු ඡන්ද ගණන 100257
පාවිච්චි කළ ඡන්ද 47682
නරක් වූ ඡන්ද 505
වැඩි වූ ඡන්ද ගණන 1968
තේරීම් භාර නිළධාරී එම්.කේ.ටී.එස් සැන්ඩිස්ගේ සහකාර තේරීම් භාර නිළධාරියා ලෙස එදින කටයුතු කෙරුවේ පසු කාලයකදී මෙරට ප්‍රධාන රේගු අයකැමි ලෙස විශ්‍රාම ගත් වී.පී.විට්ටාච්චිය. ඔහු මේ සිදුවීම ඉංග්‍රීසි පුවත්පතකට වාර්තා කර තිබේ.
ඒ දවස්වල ලංකාදීප පත්තරයේ කාටුන් ශිල්පී ජී.එස්. ප්‍රනාන්දු මේ අතුරු මැතිවරණය දුටුවේ බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර පැවති තරඟයක් විදියටය. ජී.ඇස් එදින ලංකාදීප පත්තරයේ කාටුනයක් ඇඳ තිබුණේ වොල්වින් සිල්වාගේ බොක්සිං පහරකට ඉයන් සොයිසා බිම පත බෑවී සිටින අයුරිනි. ඒ මේ කවි පද දෙකද සමගය.
“හා ! මේ කිමද වැටිලා නැගිටියන් ඉයන්
මම වෙමි මට්ටු කළෙ බලපිටියෙ චන්ඩියන්”







