සිරි දළදා වන්දනාවට පැමිණි පිරිස්වලට අත්හැර දමා එන්නට සිදුවූ ගමන් මළුවල තිබී හමුවන හැඳුණුම්පත්, රෝග සඳහා ප්‍රතිකාර ඉතිහාස සටහන්වී ඇති සායන පොත් ඇතුළු වැදගත් ලේඛන තැපැල් මගින් එම ලේඛන හිමිකරුවන් වෙත යැවීමට මහනුවර නගර සභාව කටයුතු කරමින් ඇත.
මෙම අත්හැර ගිය භාණ්ඩ විශේෂ අධීක්ෂණයක් සහිතව එකතු කරීමට කසල බැහැර කිරීමේ අංශයේ සේවක පිරිස් සහ වැඩ පරීක්ෂකවරු දැඩි අවධානයකින් යුතුව කටයුතු කරමින් සිටිති.
එමෙන්ම එකතුවන ගමන්මළු මුදල් පසුම්බි ඇතුළු භාණ්ඩ හිමි කරුවෙක් ඉදිරිපත් වී ගෙන යෑම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තැන්පත් කර තබා ගැනීමටත් නගරසභාව කටයුතු කරන බව මහනුවර නගර සභාවේ ජල අපජල සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක ලංකාසරට පැවසීය.
සාමාන්‍යයෙන් වෙන් කර ඇති එක් කලාපයකින් අත්හැර ගිය ගමන් මළු 500ක් පමණ සොයා ගන්නා බව ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසීය.
මේ වනවිට අදාල ක්ලිනික් කාර්ඩ් සහ පොත් මෙන්ම හැඳුනුම්පත් හිමිකරුවන් වෙත තැපැල් කිරීමේ කටයුතු නගර සභාවේ සුබ සාධන අරමුදලින් ලබා ගත් මුදලින් සිදුකරනු ලබන අතර එම කටයුතු භාරව සිටින්නේ වැඩ පරීක්ෂක අකලංක රාජපක්ෂය.
මේ වනවිට ජාතික හැඳුනුම්පත් ඇතුළු අත්‍යාවශ්‍ය ලේඛන විශාල ප්‍රමාණයක් තැපැල් මගින් හිමි කරුවන් වෙත යොමු කර ඇත.







