-
දිනකට නිල වශයෙන් දළදා වඳින්නේ 65000කට පමණයි… දැනට පෝලිම්වල ඉන්න ලක්ෂ 03ක පිරිසට දළදා වඳින්නත් දවස් 04ක් යාවි…
සිරි දළදා වන්දනාව සඳහා ඉදිරි දෙදින තුළ පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සිරි දළදා වන්දනාව සඳහා අද (23) පස්වරුව වනවිට ලක්ෂ තුනකට ආසන්න සැදැහැවතුන් පිරිසක් පෝලිම්වල රැඳී සිටින බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය සිදුකළ ගණනය කිරීමක දී අනාවරණය වී තිබීමත් සමග මෙම තීන්දුව ගෙන ඇත.
මේ පිළිබඳව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමත් තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ දියවඩන නිළමේවරයාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් අද (23) පස්වරුවේ කළ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූයේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව පේදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය මගින් සිදුකළ මෙම සංගණන වාර්තා අනුව දැනට පෝලිම්වල ලක්ෂ 03ක පිරිසක් රැඳී සිටිති. මේ වනවිට වැඩිම ජන පිරිසක් මහනුවර වැව රවුමේ ඇති පිවිසුම් මාර්ග දෙකේ රැඳී සිටින බවත් එම සංඛ්‍යාව ලක්ෂ දෙකකට වැඩි බවත් සංගණනයෙන් අනාවරණය වී ඇත.
ඊයේ දිනයේ එම ආයතනය කළ ගණනය කිරීමට අනුව නිල වශයෙන් එදින දළදා වන්දනා කර ඇත්තේ 65000 ක පිරිසක් පමණක් බව අනාවරණය වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසයි.
මෙම දත්ත අනුව ඉදිරි දින හතරක කාලයේ දී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට තරම් පිරිසක් අද (23) පස්වරුව වනවිටත් පෝලිම්වලට එක් වී සිටින බව තහවුරු වී ඇත.
පවතින තත්ත්වය අනුව දළදා වහන්සේ වන්දනා කිරීමට අලුතින් පෝලිම්වලට එකතු වන සැදැහැවතුන්ට දැනට නිශ්චය කර ඇති කාල සීමාව තුළ දළදාවහන්සේ සියැසින් දැක වන්දනාව සිදුකිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
දැනට එක් වී සිටින ජන ගඟ හේතුවෙන් මහනුවර යාපනය ඒ-09 මාර්ගයේ කටුගස්තොට දක්වා අධික වාහන තදබදයක් ඇතිවී තිබිණි. මේ තත්ත්වය තුළ එක් මංතීරුවක් සැදැහැවතුන් වෙනුවෙන් වෙන්කර අනෙක් මංතීරුවේ පමණක් වාහන ගමනා ගමන කටයුතු සඳහා අවස්ථාව ලබා දීමට පොලීසිය පියවර ගෙන ඇත. අම්පිටිය රතු බෝක්කුව ආසන්නයේ ද දැඩි මාර්ග තදබදයක් නිර්මාණය වීම නිසා මාර්ගය අවහිර වන සේ රැඳී සිටි පිරිස් පාලනය කිරීමට යුද හමුදාව යෙදවීමට සිදුවී තිබේ.







